බංග්ලාදේශ කාන්තාවෝ A තරගාවලිය දිනයි

Bangladesh Women's A team tour of Sri Lanka 2024

8
Bangladesh Women's A team tour of Sri Lanka 2024

සංචාරක බංග්ලාදේශ A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර අද (10) කොළඹ, බෞද්ධාලෝක මාවත තර්ස්ටන් පිටියේ දී පැවැති 2 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත් වූවා.

පෙර දින පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ අතර තරගාවලිය නිමා කරමින් පැවැති මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟන් ඔවුන් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ද සමත් වූවා.

කෙසේ වෙතත් අද තරගය ද වර්ෂාව සහ ක්‍රීඩාංගණයේ තත්ත්වය හේතුවෙන් පැවැතියේ පන්දුවාර 20ක තරගයක් ලෙසයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 113ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ තවත් පන්දු 12ක් ඉතිරි ව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 117ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ලබා ගත්තා.

ශ්‍රී ලංකා A කණ්ඩායම

 

සත්‍යා සංදීපනී (නායිකාව), කෞෂිනි නුත්‍යාංගා, අමාධි විජේසිංහ, ඉමේෂා දුලානි, පියුමි වත්සලා, මල්ශා ශෙහානි, නිලක්ෂනා සඳමිණි (කඩුලු රකින්නිය), චේතනා විමුක්ති, නිමේෂා මධුශානි, තාරුකා ශෙහානි සහ මලකි මදාරා.

බංග්ලාදේශ A කණ්ඩායම

 

Rabeya Khan (නායිකාව), Shamima Sultan, Dilara Akter, Murshida Khatun, Nigar Sultana (කඩුලු රකින්නිය), Ritu Moni, Sultana Khatun, Fahima Khatun, Shorna Akter, Sabikun Nahar Jesmin සහ Jahanara Alam

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව ඉනිම ආරම්භ කළේ කෞෂිනි නුත්‍යාංගා සහ අමාධි විජේසිංහ විසින්. ඔවුන් දෙදෙනා ගේ සබඳතාව පන්දු 9ක ලකුණු 7කට පමණක් සීමා වූවා.

එම අවස්ථාවේ දී ඉනිම හැර ගියේ අමාධි විජේසිංහ (1). ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව  කෞෂිනි නුත්‍යාංගා ද 2 වැනි කඩුල්ල ලෙසින් පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටිය දී දැවී යනවා. ඒ සමගම ඉමේෂා දුලානි ගේ ඉනිම ද ලකුණු 5කට සීමා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 3කට ලකුණු 27ක් ලෙසයි.

අනතුරු ව නායිකා සත්‍යා සංදීපනී සහ පියුමි වත්සලා එක් ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61ක දී ලකුණු 46ක සබඳතාවක් එක් කරනවා. පියුමි වත්සලා පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 100ක් පැමිණෙද්දී සත්‍යා සංදීපනී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටිය දී 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යනවා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී මල්ශා ශෙහානි පන්දු 14කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ නිලක්ෂනා සඳමිණි නොදැවී ලකුණු 3ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Fahima Khatun සහ Rabeya Khan කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

හඹායන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරය තුළ දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූව ද එතැන් සිට ප්‍රබල ප්‍රහාරයකට ගොදුරු වීමට ඔවුන්ට සිදු වූවා.

2 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ Dilara Akter සහ Murshida Khatun පන්දු 60ක දී ලකුණු 74ක සබඳතාවක් එක් කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත විවර කළා. ඒ අතුරින් Dilara Akter පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

අනතුරු ව Murshida Khatun පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී බංග්ලාදේශ 3 වැනි කඩුල්ල ලෙසින් දැවී යනවා.

තරගය ජයග්‍රහණය කරන විට Nigar Sultana පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද සහ Ritu Moni පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34ක දී නොදැවී ලකුණු 35ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී චේතනා විමුක්ති සහ නිමේෂා මධුශානි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 5ක් දැවී 113 (30.0) කෞෂිනි නුත්‍යාංගා 18, සත්‍යා සංදීපනී 36, පියුමි වත්සලා 22, මල්ශා ශෙහානි නොදැවී 25, Rabeya Khan 2/18, Fahima Khatun 2/10

බංග්ලාදේශ A කණ්ඩායම – කඩුලු 3ක් දැවී 117 (18.0) Dilara Akter 47, Murshida Khatun 30,  Nigar Sultana නොදැවී 24

බංග්ලාදේශ A කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය මේ මස 12 වැනිදා කොළඹ P. Sara Oval පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ A කණ්ඩායම් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<