ඔෂද සහ සූරිගෙන් සටන්කාමී ඉනිමක්

28
Sri Lanka A Team Tour of South Africa 2024 - Day 2

ඔෂද ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර ගේ සටන්කාමී ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (09) දවස ගෞරවනීය ලෙස අවසන් කිරීමට  ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වූවා.

Kimberley හී Diamond Oval ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 372ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 232ක් ලබා සිටියා. ඒ අනුව තරගයේ පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තවත් අවශ්‍ය ව ඇත්තේ ලකුණු 140ක් පමණයි. ඒ වෙනුවෙන් ඔවුන් සතුව තවත් කඩුලු 6ක් ද තිබෙනවා.

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 294ක් ලබා සිටි අතර ඔවුන් අද තම ඉනිමේ ඉතිරි කඩුලු 6ට ලබා ගත්තේ ලකුණු 78ක් පමණයි.

පෙර දිනයේ නොදැවී ලකුණු  112ක් ලබා සිටි Matthew Breetzke අද තම ඉනිමට තවත් ලකුණු 17ක් කර සිටිය දී ඉසිත විජේසුන්දර ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 213කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 129ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව දකුණු අප්‍රිකාව ඉනිම වෙනුවෙන් දක්ෂතා දැක් වූයේ Rivaldo Moonsamy සහ Patrick Kruger පමණයි. ඒ අතුරින් Rivaldo Moonsamy දකුණු අප්‍රිකානු ඉනිම අවසන් වන විට පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටි අතර Patrick Kruger පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී එශාන් මාලිංග ලකුණු 65කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව ඉසිත විජේසුන්දර, චාමික ගුණසේකර සහ නිශාන් පීරිස් කඩුලු 2ක් බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කරන්නේ ඔෂද ප්‍රනාන්දු සහ ලහිරු උදාර යි. ඔවුන්ට පළමු කඩුල්ලේ දී එතරම් ම දායකත්වයක් තම කණ්ඩායම වෙනුවෙන් දැක්විමට හැකි වෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 23ක් එක් වෙද්දී ලහිරු උදාර ලකුණු 18කට දැවී යනවා. අනතුරු ව පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු ද ලබා ගන්නේ ලකුණු 9ක් පමණයි.

එසේ වූවත් එතැන් සිට ඉනිම ගොඩ නැගීමට ඔෂද ප්‍රනාන්දු සහ නායක පසිඳු සූරියබණ්ඩාර සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 153ක සබඳතාවක් ගොඩ නගනවා.

ඔෂද ප්‍රනාන්දු තම 130ක් වන පළමු පෙළ තරගවල 23 වැනි ශතකය රැස් කිරීමට අද සමත් වීම කැපී පෙණුනා. ඔහු දැවී යන විට 146කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සමඟින් ලකුණු 122ක් ලබා සිටියා.

අනතුරු ව දිනයේ අවසන් පිතිකරු ලෙසින් පසිඳු සූරියබණ්ඩාර ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියා. එය ඔහුගේ 39ක් වන පළමු පෙළ තරගවල 13 වැනි අර්ධ ශතකයයි.

තරගයේ 2 වැනි දිනය අවසන් වෙද්දී ජනිත් ලියනගේ නොදැවී ලකුණු 11ක් ද සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී   Patrick Kruger, Neil Brand, Prenelan Subrayen සහ Migael Pretorius කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 372 (108.2) Tshepang Dithole 52, Neil Brand 39, Matthew Breetzke 129, Marques Ackerman 69, Patrick Kruger 20, Rivaldo Moonsamy 34, චාමික ගුණසේකර 2/71, ඉසිත විජේසුන්දර 2/59, එශාන් මාලිංග 4/65, නිශාන් පීරිස් 2/98

 

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 232 (58.0) ඔෂද ප්‍රනාන්දු 122, පසිඳ සූරියබණ්ඩාර 61

තරගය හෙට (10) 3 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<