දකුණු අප්‍රිකාව කදිම ආරම්භයක් ලබා ගනී

Sri Lanka A tour of South Africa

5
Matthew Breetzke
Ryan Wilkisky/BackpagePix

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ දකුණු අප්‍රිකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිවු දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (08) Kimberley හී Diamond Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

එහි දී කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 294ක් ලබා සිටියා.

දකුණු අප්‍රිකා A කණ්ඩායම

Neil Brand (නායක), Tshepang Dithole, Matthew Breetzke, Marques Ackerman, Sinethemba Qeshile, Patrick Kruger, Rivaldo Moonsamy (කඩුලු රකින්නා), Migael Pretorius, Beyers Swanepoel, Prenelan Subrayen, Codi Yusuf.

ශ්‍රී ලංකා A කණ්ඩායම

පසිඳු සූරියබණ්ඩාර (නායක), ඔෂද ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, සොනාල් දිනූෂ, නිශාන් පීරිස්, චාමික ගුණසේකර, ඉසිත විජේසුන්දර, ලහිරු උදාර, විශාද් රන්දික (කඩුලු රකින්නා), එශාන් මාලිංග.

දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළ Tshepang Dithole සහ නායක Neil Brand පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වූවා. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Neil Brand ගේ දැවී යෑමත් සමඟයි. ඔහු පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

අනතුරුව පිටියට එක් වූ Matthew Breetzke තම ඉනිම ශතක ඉනිමක් කරා ගෙන යමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අමාරුවේ දැම්මා. ඔහු තරගය පළමු දිනයට නතර කරන විට පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 112ක් ලබා සිටියා.

එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවයේ 8 වැනි ශතකයයි.

ඔහු 2 වැනි කඩුල්ල වෙනුවෙන් ආරම්භක පිතිකරු Tshepang Dithole එක් ව ලකුණු 79ක සබඳතාවක් එක් කළා. Tshepang Dithole පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.

ඊට අමතර ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් Marques Ackerman සමඟ එක් ව ලකුණු 108ක සබඳතාවක් ද එක් කිරීමට ඔහු සමත් වෙනවා. Marques Ackerman පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 69ක් ලබා සිටිය දී දැවී යනවා.

දිනය අවසන් වන විට එශාන් මාලිංග ලකුණු 49කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ එතෙක් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චාමික ගුණසේකර සහ නිශාන් පීරිස් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකා A කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 294 (84.0) Tshepang Dithole 52, Neil Brand 39, Matthew Breetzke නොදැවී 112, Marques Ackerman 69, එශාන් මාලිංග 2/49

තරගය හෙට (09) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<