ත්‍රිත්ව විද්‍යාලය ඉඩෝරයට තිත තබයි

78th Bradby Shield 2024

61
78th Bradby Shield 2024

78 වැනි Bradby පලිහ ශූරතාවයේ දෙවැනි අදියර ඊයේ (07) ක්‍රියාත්මක වුනා.

මෙහි දී වසර දහයක කල් මැරීමකින් අනතුරුව නැවතත් වරක් බ්‍රැඩ්බි ශූරතාව තමන් සන්තකයට ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වීම විශේෂත්වයක්.

තරගයේ පළමු අදියරේ දී ලකුණු 17 – 16ක් ලෙස තියුණු ජයක් ලැබීමට ත්‍රිත්ව ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා. ඒ අනුව රාජකීයයන් හට තම ශූරතාව තවදුරටත් රැක ගැනීම වෙනුවෙන් විශාල වෙහෙසක් දැරීමට සිදු වන බව තරගය ආරම්භයේ දී ම ඔවුන් වටහා ගෙන ඇති බව ද පෙනෙන්නට තිබුණා.

මේ අනුව තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ද රාජකීයයන් විසින් ම ආරම්භ කළ අතර, ඔවුන් උත්සාහක දිනුමක් සහ සාර්ථක ප්‍රවර්තනයක් සමඟ ලකුණු 07ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් පළමු අදියරේ වීරයා වූ ත්‍රිත්ව ක්‍රීඩක ශාන් අල්තාෆ් විසින් මීටර් 43ක දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමත් සමඟින් ම ත්‍රිත්ව ලකුණු පුවරුව ද ක්‍රියාත්මක වීම ආරම්භ වුනා. ශාන් ඉන් පසුව තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 06-07ක් මට්ටමට ද රැගෙන ආවා.

එමෙන්ම ත්‍රිත්ව ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 13-07ක් බවට පත් කිරීමට සමත් වුනත්, තරගයේ පළමු අර්ධයේ අවසන් බාගයේ දී තම ක්‍රීඩා රටාව තවත් ආක්‍රමණශීලී කළ රාජකීය ක්‍රීඩකයින් ලකුණු තත්වය 13-20ක් ලෙස වෙනස් කිරීමට සමත් වුනේ තරගයේ වැඩි වාසි තමන් සතු කර ගනිමිනුයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ත්‍රිත්ව ක්‍රීඩකයින් නැවත තරගයේ රිද්මය හඳුනාගනිමින් තරගයට අවතීර්ණ වූ අතර, ශාන් අල්තාෆ් විසින් නොකඩවා දඬුවම් පහර ත්‍රිත්වයක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 22-19ක් මට්ටමට රැගෙන ආවා. මේ වන විට පළමු අර්ධයේ ලකුණු ද සමඟ ලකුණු 39-36ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය තරගයේ පෙරමුණේ පසු වුනා.

කෙසේ වෙතත් මේ මොහොතේ රාජකීය ක්‍රීඩක නබීල් යහියා විසින් දඬුවම් පහරක් සාර්ථක කරමින් තරගයේ ලකුණු තත්වය 22-23ක් ලෙස ද, සමස්ත ලකුණු එකතුව 39-39ක් ලෙසට ද වෙනස් කිරීමට සමත් වුනේ තරගය ඉතා උද්වේගකර එකක් බවට පත් කරවමිනුයි.

නමුත් නැවතත් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ශාන් අල්තාෆ් තරගයේ අවසන් මොහොතේ දී මෙම තරගයේ ඔහු විසින් සාර්ථක කර ගත් හය වැනි දඬුවම් පහර (මීටර් 53ක) එල්ල කිරීමට සමත් වුනේ තරගයේ ලකුණු තත්වය 25-23ක් ලෙස වෙනස් කරවමිනුයි.

මේ අනුව තරගයේ ජයග්‍රහණය මෙන්ම සමස්ත ලකුණු එකතුව 42-39ක් බවට පත් කර ගත් ත්‍රිත්ව විද්‍යාලය 78 වැනි Bradby ශූරතාව ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ත්‍රිත්ව විද්‍යාලය 25 (1T, 1C, 6P) – 23 (2T, 2C, 3P)

පෙර තරග අදියරේ දී මෙන්ම මෙවර ද තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට ශාන් අල්තාෆ් විසින් සමත් වූ අතර, ඊයේ තරගයේ දී ඔහු විසින් ලකුණු 20ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් වීම විශේෂත්වයක්.

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<