පැරාලිම්පික් තරුව “සමිත”

Paris Paralympics 2024

1
Paris Paralympics 2024

2024 පැරිස් පැරාලිම්පික් උළෙලේ F64 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ සමිත දුලාන් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වෙන අතර ඊට පෑ දක්ෂතාව ලෝක වාර්තාවක් බවට පත් කර ගැනීමට ද සමත් වෙනවා.

ඔහු මෙම ඉසව්වේ දී මීටර් 67.03දක්ෂතාවක් දක්වමින් මෙම වාර්තාවට හිමිකම් කියනවා. මීට පෙර මෙම වාර්තාවේ අසුන වෙන්කර ගෙන සිටියේ ද සමිත දුලාන් වීම විශේෂත්වයක්. ඔහු 2024 මැයි මාසයේ දී ජපානයේ  ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී දක්වා තිබු 66.49ක දක්ෂතාවයි.

සමිත ගේ නිත්‍ය තරග ඉසව්ව වූයේ F44 කාණ්ඩය හෙවත් දණ හිසෙන් පහළ අප්‍රාණික තරගකරුවන්ගේ ඉසව්වයි. නමුත් ජාත්‍යන්තර පැරා ක්‍රීඩා නිතීය අනුව දණ හිසෙන් පහළ අහිමි පිරිස් වන F64 කාණ්ඩයේ තරගකරුවන් ද මෙම ඉසව්ව සඳහා එක් ව තරග වදින අතර ඊට අමතර ව  F42, F43, F44, F61,F62 සහ F63 යන කාණ්ඩවලට අයත් තරග කරුවෝ ද ඊට එක් වෙනවා.

ඒ අනුවයි සමිත දුලාන්ට තම ඉසව්වේ දී රිදී පදක්කමකින් සෑහීමකට පත් වුණත් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට හැකි වෙන්නේ.

මෙම ඉසව්වේ පදක්කම්ලාභීන්

  Medal Att1 Att2 Att3 Att4 Att5 Att6 Mark
1 Sumit Antil (ඉන්දියාව) F64 කාණ්ඩ ඉසව්ව
  රන් 69.11 70.59 66.66 X 69.04 66.57 70.59
2 සමිත දුලාන් (ශ්‍රී ලංකාව) ) F44 කාණ්ඩ ඉසව්ව
  රිදී 63.14 63.61 55.01 63.73 67.03 64.38 67.03
3 Michel Burian (ඔස්ට්‍රේලියාව) F44 කාණ්ඩ ඉසව්ව
  ලෝකඩ 63.78 64.89 58.89 60.34 62.39 60.80 64.89

එම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගන්නේ ඉන්දියාවේ 26 හැවිරිදි වියේ පසුවෙන Sumit Antil. ඔහු F64 කාණ්ඩය යටතේ මෙම තරගාවලියට එක් වූ අතර ඔහු ද තරගය නිමා කරන්නේ එම ඉසව්වෙන් ලෝක වාර්තාවක් බිහිකරමිනුයි. ඔහුගේ දක්ෂතාව වූයේ 70.59ක්.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභියා බවට පත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ Michel Burian. ඔහු ඊට පෑ දක්ෂතාව 64.89ක්.

කෙසේ වෙතත් සමිත මෙරට පැරා ක්‍රීඩා ඉතිහාසයට එක් වෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පැරාලිම්පික් පදක්කම් දෙකක් ජයග්‍රහණය කළ පළමු ක්‍රීඩකයා ලෙසයි.

සමිත ගේ F44 හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ඉහළත ම ජාත්‍යන්තර පදක්කම් ලැයිස්තුව

  • 2021 ටෝකියෝ පැරාලිම්පික් උළෙල, ලෝකඩ පදක්කම
  • 2023 පැරිස් පැරා ලෝක ශූරතා පැරා උළෙල, ලෝකඩ පදක්කම
  • 2023 චීනයේ පැරා ආසියානු තරගාවලිය, ලෝකඩ පදක්කම
  • 2024 මොරොක්කෝවේ ලෝක පැරා මලල ක්‍රීඩා Grand Prixතරගාවලිය, රන් පදක්කම
  • 2024 ජපාන පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය, රිදී පදක්කම.

 

සමිතගේ ගම දෙනියාය. පාසල් යන්නේ දෙනියාය ජාතික පාසලට. පාසල් යන මුල් කාලේ දන්න කියන හැම මලල ක්‍රීඩාවක ම නිරත වූ නිසා සමිත නිවාසාන්තර ක්‍රීඩා පැවැත්වෙන කාලවල වැඩි හරියක් ම හිටියේ පිට්ටනියේ. ඒත් ටික කාලයක් යද්දි තමන් ගේ දක්ෂතා කොතැන ද තියෙන්නේ කියලා සමිතට වැටහෙනවා.

ඒ අනුව සමිත අනෙකුත් ක්‍රීඩාවන්ගෙන් ඈත් වෙලා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩා ඉසව්ව පූර්ණ කාලීනය කරන්න තීරණය කරනවා. ඒත් ඉතිං ඒ වෙද්දි පාසලේ පුහුණුවට හෙල්ලක්, ඒ වෙනුවෙන් වන පුහුණුකරුවෙක්වත් හිටියෙ නැහැ.

නමුත් සමිත පාසලේ සිටි ශාරීරික අභ්‍යාස ගුරුවරුන්ගෙන් ඔවුන් දන්න විදිහට හෙල්ල විසි කරන්න ඉගෙන ගත්තා. ඒ කාලයේ එවැනි පුහුණුවීමකින් පසුව සහභාගී වූ කලාප සහ දිස්ත්‍රික් තරගවල පළමු තුන් දෙනා අතරට එක්විමට සමිත සමත් වුනා.  ලොකු ජයග්‍රහණ නොලැබුණත් සමස්ත ලංකා තරගවලට පවා ඔහු එකල සහභාගී වුනා.

එලෙස ඇරඹෙන සමිතගේ හෙල්ල විසි කිරීමේ තරග ඉතිහාසය වඩාත් වර්ණවත් වෙන්නේ යුද හමුදා පොලිස් සේවා බලකාය හෙවත් මිලිටරි පොලිසියට බැඳුනට පස්සේ.

2009 වසරේ දී සමිත යුද හමුදා පොලිස් බලකා සේවයට එක් වෙනවා. එහිදී යි සමිත හෙල්ල විසි කිරීමේ ඉසව්ව විධිමත් ව පුහුණු වෙන්නේ. මේ ලෙසින් වසර 7ක පමණ කාලයක් ගත වූ 2016 වසරේ දී සමිත යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ නව වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගන්නවා.

මේ ජයග්‍රහණයත් සමඟින් සමිත තව තවත් ක්‍රීඩාවේ ඉදිරියට යෑමට වැඩි වැඩියෙන් පුහුණුවීම්වල නිරත වුනා. නමුත් ඒ ගමන වැඩි කාලයක් පැවැතුණේ නැහැ.

එක්තරා දිනයක දී පුහුණුවීම් අවසන් ව නේවාසිකාගාරය වෙත යද්දී සමිත නොසිතු රිය අනතුරකට ලක් වෙනවා. මේ හේතුවෙන් පාදයේ වළලුකර අක්‍රීය තත්ත්වයට පත් වෙන අතර සමිත අවුරුදු දෙකක පමණ කාලයක් යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

“ඒක දුෂ්කර කාලයක්. ක්‍රීඩා කරන්න බැහැ කියල දැන ගත්තහම මට මුළු ලෝකෙම අහිමි වුනා වගේ හැඟීමක් දැනුණේ. රෝහලේ සිටිද්දී ඒ ගැන ම හිතුවා මිසක් වෙනත් කිසිවක් ම දෙයක් හිතුවේ නැහැ. හිතුනෙත් නෑ. ක්‍රීඩාව ලේසියෙන් හිතෙන් ඉවත් කරන්න බැරි තරමට මගේ ඇඟට බද්ධ වෙලා තිබුණේ. මගේ ආබාධිත තත්ත්වයට වඩා මට දුක හිතුණේ මට ක්‍රීඩකයෙක් ලෙසින් තව දුරටත් ක්‍රීඩා පිටියට බහින්න බැරි වෙනවා නේද කියන දුක.“ සමිත තම අනතුරෙන් පසුව මුහුණ දුන් කාලය ගැන ThePapare.com සමඟ එකල පැවැසුවේ එලෙසින්.

අනතුරෙන්, අනතුරු ව සමිත ප්‍රදීප් නිශාන්ත මහතා යටතේ පැරා ක්‍රීඩකයෙක් ලෙසින් යළි හෙල්ල දැමීමේ ඉසව්මේ පුහුණුවීම්වල නිරත වෙනවා.

ඒ අනුව 2016 වසරේ යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ නව තරග වාර්තාවක් ද සමඟින් රන් පදක්කම දිනා ගත් සමිත, 2018 වසරේ යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා. ඉන් නොනැවතෙන සමිත ඊට පසුව එම වසරේ ම පැවති ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී තමන්ගේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්න සමත් වෙනවා.

ඒ දක්ෂතාත් සමඟ සමිත එම වසරේ ම ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. එය සමිතගේ පළමු විදෙස් තරගාවලිය. එහි දී සමිත හතර වැනි ස්ථානය දිනා ගන්නවා. ඉන් අනතුරුව 2019 වසරේ ඩුබායි හි පැවති ලෝක ශූරතාවලිය නියෝජනය කිරීමට ද සමිත සුදුසුකම් ලබා ගන්නවා. එහි දී ද ඔහුට හිමි වෙන්නේ සිව්වැනි ස්ථානය.

එම දක්ෂතාත් සමඟින් සමිත ට 2021 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා. ඒ F44 හෙල්ල විසි කිරීමේ ඉසව්ව වෙනුවෙන්. එම උළෙලේ දී සමිතට හිමි වෙන්නේ ලෝකඩ පදක්කමක්.

2020 වසරේ දී පැරාලිම්පික් තරගාවලිය නියෝජනය කළ සමිත ඇතුළු කණ්ඩායම

2024 පැරිස් පැරාලිම්පික් උළෙලේ රිදී පදක්කම්ලාභී සමිත දුලාන්ට ThePapare.com හී සුබ සුබ පැතුම්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>