චරිත් 111 වැන්නේ දී 111ක් රැස් කරයි

National Super League Limited Over Tournament 2024

5

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ Colombo කණ්ඩායමේ නායක චරිත් අසලංක ඊයේ (31) Dambulla කණ්ඩායමට එරෙහි ව ශතකක් වාර්තා කළා. ඔහු මෙම තරගයේ දී ලකුණු 111ක් රැස් කළ අතර එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ 111 වැනි ඉනිම ද වීම විශේෂත්වයක්.  

එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ 9 වැනි ශතකයයි. 

මේ අතර අගනුවර කණ්ඩායම නියෝජනය කරන 23 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර ඊයේ තම පළමු පෙළ එක්දින තරග දිවියේ ශතක සපිරූ කඩුල්ල දවා ගැනීමට සමත් වූවා.  

3 වැනි තරගය 

  • Colombo සහ Dambulla අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

පැවැති වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 38ක තරගයක් ලෙසිනුයි ක්‍රියාත්මක වෙන්නේ. 

කාසියේ වාසිය දිනා ගත් දඹුලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 255ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 211ක් පමණයි. 

අගනුවර ඉනිමේ දී නායක චරිත් අසලංක ශතකයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා. 

චරිත් අසලංක, දසුන් ශානක එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 79ක් ද සහ අශේන් බණ්ඩාර (25) එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 55ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වූවා.   

චරිත් අසලංකට අමතර ව එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ක්‍රිශාන් සංජුලයි. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී චමිඳු විජේසිංහ ලකුණු 48කට කඩුලු 3ක් දවා ගත් අතර රවිඳු ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, සචිත ජයතිලක සහ දුවිඳු රණතුංග කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු ඉනිමේ ලකුණු 150කට කඩුලු 8ක් දැවී ගොස් තිබිය දී 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36ක දී ලකුණු 59ක සබඳතාවක් එක් කිරීමට ලක්ෂාන් සඳකැන් (13) සහ රවිඳු ප්‍රනාන්දු සමත් වුනා.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ද රනිඳු ප්‍රනාන්දු යි. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 95ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු පුලිඳු ප්‍රනාන්දු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 40ක් ද සහ ගයන වීරසිංහ පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ප්‍රමෝද් මධුශාන් සහ දිලුම් සුදීර කඩුලු 3ක් බැගින් දවා ගත් අතර චරිත් අසලංක කඩුලු 2ක් ද දසුන් ශානක කඩුල්ලක් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

Colombo – කඩුලු 7ක් දැවී 255 (38.0) ක්‍රිශාන් සංජුල 38, චරිත් අසලංක 111, දසුන් ශානක 23, අශේන් බණ්ඩාර 25, චමිඳු විජේසිංහ 3/48 

Dambulla – සියලුම දෙනා දැවී 211 (36.0) පුලිඳු පෙරේරා 40, ගයන වීරසිංහ 37, රවිඳු ප්‍රනාන්දු නොදැවී 95, ප්‍රමෝද් මධුශාන් 3/45, දිලුම් සුදීර 3/50, චරිත් අසලංක 2/16 

 

Colombo කණ්ඩායමට ලකුණු 45ක ජයක්. 

4 වැනි තරගය 

Kandy  සහ Jaffna අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

මෙම තරගය ද ක්‍රියාත්මක වූයේ පන්දුවාර 39ක තරගයක් ලෙසයි.  

කාසියේ වාසිය දිනා ගත් Jaffna නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 172ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමේ දී යාපනය ක්‍රීඩකයන්ගේ ඉනිම 15 වැනි පන්දු වාරය අවසන් වීමත් සමඟ අවසන් වූවා. ඒ වර්ෂාව හේතුවෙනුයි. ඒ වෙද්දී යාපනය ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 78ක් ලබා සිටියා.  

මහනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක චාමික කරුණාරත්න. ඔහු පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා. 

ඊට අමතර ව අහන් වික්‍රමසිංහ  ද පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.  

Kandy ඉනිමේ දැවී ගිය කඩුලු 4 ම දවා ගැනීමට ඉසිත විජේසුන්දර සමත් වූවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Jaffna ඉනිම වෙනුවෙන් පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූ ඉසිත විජේසුන්දර දක්ෂතා දැක්වීම කැපී පෙණුනා. ඔහු පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී නිම්සර අතරගල්ල කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

Kandy – කඩුලු 4ක් දැවී 172 (39.0) තනුක දාබරේ 32, අහන් වික්‍රමසිංහ නොදැවී 52, චාමික කරුණාරත්න 64, ඉසිත විජේසුන්දර 4/36 

 

Jaffna – කඩුලු 4ක් දැවී 78 (15.0) රොන් චන්ද්‍රගුප්ත 19, ඉසිත විජේසුන්දර 20, නිම්සර අතරගල්ල 2/27 

තරගයේ විසඳුමක් නෑ.  

තරගාවලියේ මීළඟ තරග මේ සැප්තැම්බර් මස 5 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව Dambulla සහ Galle කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, Colombo සහ Jaffna කණ්ඩායම් අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.   

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<