ශ්‍රී ලංකාව දැවැන්ත ඉලක්කයක් පසු පස

Sri Lanka Tour of England 2024

4

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට ලකුණු 483ක දැවැන්ත ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

තරගයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඊයේ (31) දිනයේ දී එංගලන්තය වෙනුවෙන් සාර්ථක වීමට හැකියාව ලැබුණේ Joe Root හට පමණයි. ඔහු පන්දු 121ක් පමණක් වැය කරමින් ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර ඉනිමේ දෙවැනි ඉහළම ලකුණු ලාභියා වූ Harry Brookගේ පිත්තෙන් ලකුණු 37ක් වාර්තා වුනා. ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලබා දීමට මෙන්ම ඊයේ දිනය තුළ ම ඔවුන්ට නැවත පන්දුවට පහර දීමට පෙලඹීම වෙනුවෙන් එංගලන්තය ඉක්මනින් ලකුණු රැස් කිරීමේ නිරත වූ බව පෙනෙන්නට තිබුණා. ඒ අනුව ඔවුන් පන්දුවාර 54 පන්දු 3ක් තුළ ලකුණු 251ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුලු 3 බැගින් බිඳ හෙළන අතරේ, මිලාන් රත්නායක සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

එංගලන්ත දෙවැනි ඉනිමේ නිමාවත් සමඟ ශ්‍රී ලංකාවට සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදු වූ අතර, මෙහි දී ද නිශාන් මදුශ්ක සහ පැතුම් නිස්සංක යුගලයම ඉතා ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට එංගලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න ඊයේ දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැඳෙමින් නොදැවී ලකුණු 23ක් ලබා ගන්නා අතරේ, සැඳෑ ආරක්ෂක පිතිකරු ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 03ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 08ක් අතැතිව තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 430ක් පිටුපසින් සිටිනවා.

තරගයේ සිව්වැනි දිනය අද (01) ක්‍රියාත්මක වීමට නියමිතයි

දෙරට අතර ටෙස්ට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<