අයෝමාල්ට තත්පර දශම ගණනකින් අවසන් තරගය අහිමි වෙයි

World Junior Athletics Championship 2024

4

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ සිව්වැනි දිනය ඊයේ (30) රාත්‍රියේ සහ අද (31) අලුයම ක්‍රියාත්මක වුනා. 

මෙහි දී ශ්‍රී ලංකා 100×4 පිරිමි කණ්ඩායම සහ අයෝමාල් අකලංක තරග බිමට පිවිසෙමින් සැලකිය යුතු මට්ටමේ දක්ෂතා දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. 

පිරිමි 100×4 කණ්ඩායම 

පිරිමි 100×4 මූලික වටයේ දෙවැනි තරගයට ශ්‍රී ලංකාව ඊයේ සහභාගී වූ අතර, මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලිත් තමෙල්, දිනෙත් ඉඳුවර, ඉඳුසර විදුශාන් සහ මෙරෝන් විජේසිංහ ඉසව්වට  සහභාගී වුනා. ඔවුන් කණ්ඩායම් 08ක් සහභාගී වූ තරගයේ දී දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනේ තත්පර 40.14ක කාලයක් වාර්තා කරමිනුයි. කෙසේ වෙතත් ඔවුන්ගේ සමස්ත තරග නිමි කාලය කණ්ඩායම් 31 අතුරින් 10 වැනි ස්ථානයේ රැඳීම නිසා අවසන් මහා තරගය අවාසනාවන්ත ලෙස මග හැරී ගියා.  

පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීම 

මේ අතර අද අලුයම අයෝමාල් අකලංක පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයට සහභාගී වුනා. එහි දී ඔහු විසින් තත්පර 51.45ක කාලයක් සමඟ සිව්වැනි ස්ථානයට පත් වූ අතර, එය ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ. 

ඔහුගේ තරග නිමි කාලය මෙම ඉසව්වේ දස වැනි ස්ථානයේ රැඳුණු අතර, තත්පර දශම ගණක වෙනසක් මත ඔහුට වටිනා අවසන් මහා තරග අත්දැකීමක් මග හැරී ගියා. 

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<