දකුණු අප්‍රිකානු A තරග සංචාරය අද සිට

Sri Lanka A tour of South Africa

3

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අද (31) සිට ආරම්භ වීමට නියමිතයි.  

Potchefstroom හි දී පැවැත්වෙන මෙම තරගයෙන් අනතුරු ව දෙරට ක්‍රීඩකයෝ නැවත සැප්තැම්බර් මස 02 වැනිදා 2 වැනි එක්දින තරගයට ද සහ සැප්තැම්බර් 04 වැනිදා තෙවැනි සහ අවසන් එක්දින තරගයට ද එක් වීමට නියමිතයි. මේ සියලු තරග පැවැත්වෙන්නේ Potchefstroom හි දීයි.  

දෙරට A කණ්ඩායම් තරග ඉතිහාසයේ ඔවුනොවුන් අවසන් වරට හමුවෙන්නේ දකුණු අප්‍රිකාව ගිය වසරේ දී මෙරට කළ සංචාරයෙන් අනතුරුවයි. 2023 වසරේ ජුනි මාසයේ දී පැවැති එම තරගාවලියෙන් 2-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

එමෙන් ම දෙරට අතර අවසන් වරට නිමා වී ඇති තරග 5න් තරග 4ක් දකුණු අප්‍රිකාව විසින් ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙනවා.  

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මෙම තරගාවලියට එක් වෙන්නේ නිමා වූ මැයි මාසයේ දී ඇෆ්ගනිස්තානය සමඟින් එක්දින තරග 5ක තරගාවලියකට සහභාගී වීමෙන් අනතුරුවයි. එම තරගාවලියේ දී 3-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

දකුණු අප්‍රිකාව මෙම තරගාවලිය හා එක් වෙන්නේ පසුගිය වසරේ මෙරට කළ සංචාරයෙන් අනතුරුවයි.  

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම 

ශ්‍රී ලංකා නායකත්වය හිමි ව ඇත්තේ 24 වැනි වියේ පසුවෙන ඉදිරි පෙළ සටන්කාමී පිතිකරු පසිඳු සූරියබණ්ඩාර වෙතයි. ඔහු මීට පෙර ඇෆ්ගනිස්තානයට එරෙහි ව තරගාවලියක් අතර මඟ දී නායකත්වයේ කටයුතු කර ඇති අතර සම්පූර්ණ තරගාවලියක නායකත්වය පත් පළමු අවස්ථාවයි මේ.  

පසුගියදා නිමා වූ Sri Lanka  Sports Fiesta T10 League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ විරයා බවට පත් වූ පසිඳු සූරියබණ්ඩාර මේ දක්වා පළමු පෙළ එක්දින තරග 55කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 1483ක් රැස් කරගෙන සිටිනවා.  

ඊට අමතර ව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 4ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇති නුවනිඳු ප්‍රනාන්දු ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා. ඔහු මේ දක්වා පළමු පෙළ තරග 57ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුනු 1511ක් ලබා තිබෙනවා. 

එමෙන් ම ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ මෙන් ම ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 5ක් ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක දුශාන් හේමන්ත ද මෙම කණ්ඩායමට ඇතුලත්.  

දුශාන් හේමන්ත මේ දක්වා පළමු පෙළ තරග 93ක දී ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1524ක් ද සහ කඩුලු 109ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.  

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් නියෝජනය කළ පළමු පෙළ එක්දින තරග 88කට සහභාගී වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 17ක් සමඟින් ලකුණු 2485ක් ලබා සිටින ලහිරු උදාර මෙන් ම ටෙස්ට් තරගයක් සහ එක්දින ජාත්‍යන්තර තරගයක් නියෝජනය කළ චාමික ගුණසේකර, ටෙස්ට් තරගයක් සහ එක්දින පළමු පෙළ කඩුලු 109ක් ලබා සිටින මොහොමඩ් ශිරාෂ් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කට ක්‍රීඩා කර ඇති කමිල් මිෂාර ද මෙම සංචාරයට එක් ව සිටිනවා.  

ඊට අමතර ව පළමු පෙළ එක්දින තරග දිවියේ ශතක 5ක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 2048ක් ලබා සිටින පවන් රත්නායක ද මෙම සංචාරය හා එක් ව සිටිනවා. එමෙන් ම නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණ චමිඳු වික්‍රමසිංහ මෙන් ම සුවිශේෂී දක්ෂතා දැක් වූ කවිඳු නදීශාන් ද සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක දිනුර කළුපහන ද මෙම කණ්ඩායම හා එක් වෙනවා.  

ශ්‍රී ලංකා A කණ්ඩායම: 

පසිඳු සූරියබණ්ඩාර (නායක), ලහිරු උදාර, කමිල් මිෂාර, පවන් රත්නායක, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, දුශාන් හේමන්ත, සොනාල් දිනූෂ, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාෂ්, වනුජ සහන්, චමිඳු වික්‍රමසිංහ, ඒශාන් මාලිංග, දිනුර කළුපහන සහ කවිඳු නදීශාන්. 

දකුණු අප්‍රිකා A ක්‍රිකට් කණ්ඩායම 

දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයත්වය හිමි ව තිබෙන්නේ ටෙස්ට් තරග 18කට සහ එක්දින තරග 12කට ක්‍රීඩා කර ඇති 27 වැනි වියේ පසුවෙන කඩුලු රකින පිතිකරු Kyle Verreynne වෙතයි. ටෙස්ට් තරගවල ඔහුගේ දක්ෂතාව වන්නේ නවසීලන්තයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 136ත් සමඟින් ලකුණු 719ක් වන අතර එක්දින තරග පිටියේ ලබා ගත් ලකුණු 371ක් ද ඔහු සතුයි.  

ඔහු මේ වන විට පළමු පෙළ එක්දින තරග 81කට සහභාගී වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1557ක් ලබා සිටිනවා 

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Andile Phehlukwayo ද මෙම කණ්ඩායමට ඇතුලත්. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 78ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 42කට සහභාගී වී ඇති ඔහු පළමු පෙළ එක්දින කඩුලු 158ක් සහ ලකුණු 2107ක් ලබා ඇති ක්‍රීඩකයෙක්. 

ඔවුන්ට අමතර ව ටෙස්ට් තරග 6ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 5ක් ක්‍රීඩා කර ඇති Tony de Zorzi, ටෙස්ට් තරග 3ක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 9ක දක්ෂතා දක්වා ඇති Lutho Sipamla, ටෙස්ට් තරග 6ක් ක්‍රීඩා කර ඇති David Bedingham, ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කර ඇති Senuran Muthusamy, එක්දින ජාත්‍යන්තර තරග 6ක් ක්‍රීඩා කර ඇති Matthew Breetzke සහ එක්දින ජාත්‍යන්තර තරග 2ක් ක්‍රීඩා කර ඇති Dewald Brevis ද මෙම කණ්ඩායම නියෝජනය කරනවා.  

කණ්ඩායම නම් කිරීමේ දී පළමු පෙළ තරග දිවියේ සුවිශේෂී දක්ෂතා දක්වමින් සිටින 24 හැවිරිදි වියේ පසුවෙන Mihlali Mpongwana වෙත ද මෙම කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර තිබෙනවා.  

ඔහු මේ දක්වා පළමු පෙළ එක්දින තරග 35ක දී කඩුලු 44ක් සහ ලකුණු 598ක් ලබා තිබෙනවා. ඔහුගේ අවසන් තරග 5 නිමා කරන්නේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 210ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්‍ය ලෙසින් 70.0ක් වැනි ඉහළ අගයක් ගන්නවා.  

දකුණු අප්‍රිකානු A කණ්ඩායම: 

Kyle Verreynne (capt), David Bedingham, Eathan Bosch, Matthew Breetzke, Dewald Brevis, Tony de Zorzi, Dayyaan Galiem, Tristan Luus, Mihlali Mpongwana, Andile Mogakane, Senuran Muthusamy , Andile Phehlukwayo, Andile Simelane, Lutho Sipamla, Codi Yusuf.  

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<