මලිත් සහ ඉඳුසර අවසන් පූර්ව වරම් ලබයි

World Junior Athletics Championship 2024

2
World Junior Athletics Championship 2024

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය ඊයේ (29) රාත්‍රියේ සහ අද (30) අලුයම් කාලයේ දී ක්‍රියාත්මක වුනා.

මෙම දිනය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙකු තරඟ බිමට පිවිසුණු අතර, ඔවුන් කැපී පෙනෙන දක්ෂතා අතරට පිවිසීමට සමත් වීමත් විශේෂත්වයක්.

පිරිමි මීටර් 200

මෙහි දී පිරිමි මීටර් 200 ඉසව්වේ මූලික වටය නියෝජනය කරමින් මලිත් තමෙල් සහ ඉඳුසර විදුශාන් තරග බිමට පිවිසුණා. මෙහි දී සිව්වැනි මූලික වටයේ තරගයට සහභාගී වූ මලිත් තත්පර 21.23කින් තරගය නිමා කරමින් දෙවැනි ස්ථානය දිනා ගත්තේ අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලබා ගනිමිනුයි.

මේ අතරේ ඉසව්වේ 8 වැනි මූලික වටයේ තරගයට සහභාගී වූ ඉඳුසර තත්පර 21.56ක කාලයක් සමඟ හයවැනියා ලෙස තරගය නිමා කළා. ඔහුට පළමුව අවසන් පූර්ව වටයේ වරම් හිමි නොවූ නමුත්, පසුව ඔහුගේ තරග නිමි කාලය මත ඔහුට ද අවසන් පූර්ව වටයේ දොරගුළු විවර වුනා.

අද අලුයම් කාලයේ දී මෙම ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග ද ක්‍රියාත්මක වුනා. එහි පළමු අවසන් පූර්ව තරගයට සහභාගී වූ මලිත් තත්පර 21.93ක කාලයක් සමඟ 08 වැනි ස්ථානය හිමි කරගන්නා අතරේ, දෙවැනි අවසන් පූර්ව තරගය නියෝජනය කළ ඉඳුසර ද තත්පර 21.93ක කාලයක් සමඟ හත් වැනි ස්ථානයට පත් වුනා.

ඔවුන් දෙදෙනා ම අවසන් පූර්ව වටයේ දී සම කාල වාර්තා කිරීම නිසා ඉසව්වට සහභාගී වූ සමස්ත තරගකරුවන් අතරේ 22 වැනි ස්ථානයේ රැඳුණා.

පිරිමි මීටර් 110 කඩුලු පැන දිවීම

මෙම ඉසව්වේ මූලික වටයේ 7 වැනි තරගය නියෝජනය කළ සඳුන් කෝසල තත්පර 14.04ක කාලයක් සමඟ තම පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට සමත් වුනා. ඔහු මෙම තරගයේ පස් වැනි ස්ථානයට පත් වූ අතර, තරගයට සහභාගී වූ සමස්ත ක්‍රීඩකයින් 66ක් අතරින් 37 වැනි තැන සඳුන්ගේ නම රැඳුණා.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<