පළමු දිනයේ වැඩි වාසි එංගලන්තයට

Sri Lanka Tour of England 2024

4
Sri Lanka Tour of England 2024 2nd test match day 02

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (29) ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනස්කම් ද්විත්වයක් සමඟ සහභාගී වූ අතර, ඒ අනුව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක සහ විශ්ව ප්‍රනාන්දු වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට එක් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම:

දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ මිලාන් රත්නායක

එංගලන්ත කණ්ඩායම:

Daniel Lawrence, Ben Duckett, Ollie Pope (නායක), Joe Root, Harry Brook, Jamie Smith, Chris Woakes, Gus Atkinson, Matthew Potts, Olly Stone, Shoaib Bashir

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සතු වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.

ඒ අනුව එංගලන්ත ආරම්භක පිතිකරු යුගලය ලෙස Ben Duckett සහ Dan Lawrence ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 33කට සීමා කිරීමට ලහිරු කුමාර විසින් සමත් වුනා. එමෙන්ම එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස නායක Ollie Pope ද එක් ලකුණකට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, එංගලන්තය ඉනිමේ කඩුලු 4ක් ලකුණු 130ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුනා.

කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Jamie Smith සහ Joe Root පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, එහි දී Smith ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා. එංගලන්තය වරක කඩුලු 6ක් දැවී ලකුණු 216ක් ලබා සිටි අතර, ඒ මොහොතේ තරගයේ ග්‍රහණය ශ්‍රී ලංකාවෙන් මුදවා ගැනීමට Joe Root සහ Gus Atkinsonට හැකියාව ලැබුණා.

Root සහ Atkinson යුගලය විසින් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, එම සබඳතාව නිමා වුනේ විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි Rootගේ දැවී යාමත් සමඟයි. මිලාන් රත්නායකගේ පන්දුවක් හමුවේ Root දැවී යන විට ඔහු පන්දු 206ක් තුළ ලකුණු 143ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

කෙසේ වෙතත් Rootගේ දැවී යාමෙන් පසුව හෝ ශ්‍රී ලංකාවට තරගයට අවතීර්ණ වීමට ඉඩක් ලබ නොදුන් Atkinson, Matthew Potts සමඟ 8 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 50ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුනා.

ඒ අනුව තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 358ක් ලබා සිටි අතර, එහි දී Gus Atkinson විසින් පන්දු 81ක් තුළ නොදැවී ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වී සිටියේ තම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ද එක් කර ගනිමිනුයි. එමෙන්ම Potts ද දිනය නිමා වන විට නොදැවී ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිඳ හෙළන අතරේ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත් වුනා.

තරගයේ දෙවැනි දිනය අද (30) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<