ජනිඳු සහ  විරාන් ශතක වාර්තා කරයි

U 17 Sri Lanka Youth League Tournament 2024

5
U 17 Sri Lanka Youth League Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී අද (24) දවසේ නිමා වූ තරගවල දී ජනිඳු රණසිංහ සහ විරාන් චමුදිත ශතක වාර්තා කිරීමට සමත් වුනා.

දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන අනුරාධපුර සාන්ත ජෝසප් විද්‍යාලයේ ජනිඳු රණසිංහ සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් ගාල්ල කණ්ඩායමට පිවිසි විරාන් චමුදිත මෙලෙස ශතක වාර්තා කළ අතර ඒ අනුව මෙම තරගාවලියේ මේ දක්වා නිමා වූ තරග 6 දී ක්‍රීඩකයෝ 5 දෙනෙක් ශතක වාර්තා කිරීමට සමත් ව සිටීම කැපී පෙණෙනවා.

මේ අතර අද පැවැති තරගවල දී Kandy කණ්ඩායමේ ආදම් හිල්මි සහ රයන් ග්‍රෙගරි, Colombo South කණ්ඩායමේ විමත් දින්සර සහ රමිරු පෙරේරා Galle කණ්ඩායමේ රන්දුල් මාබරණ අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වූවා.

අද නිමා වූ තරගවල දී Colombo South කණ්ඩායම සහ Galle කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කළා.

Kandy සහ Colombo South අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් Colombo South කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 242ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Colombo South ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 243ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

Kandy ඉනිම වෙනුවෙන් ආදම් හිල්මි සහ රයන් ග්‍රෙගරි අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා. ආදම් හිල්මි පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ද සහ රයන් ග්‍රෙගර් පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු කාශ්‍යප දිසානායක ද පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රන්දීශ බණ්ඩාරනායක, අභීත් පරණවිදාන, හිරුෂ ප්‍රනාන්දු සහ අකාශ් දිසානායක කඩුලු 2ක් බැගින් දවා ගත්තා. ඊට අමතර ව ඔශාන් ද සිල්වා සහ රුසඳු සිල්වා කඩුල්ල බැගින් දවා ගත්තා.

Colombo South පිළිතුරු ඉනිමේ දී නායක විමත් දින්සර පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා.

ඔහු, ඔෂාන් ද සිල්වා සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 80ක දී ලකුණු 83ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා. ඔෂාන් ද සිල්වා පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

තරගය අවසන් වන විට රමිරු පෙරේරා පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී රයන් ග්‍රෙගරි සහ කෙනුල පිහිලියංග කඩුලු 2ක් බැගින් දවා ගනිද්දී කාශ්‍යප දිසානායක, සුමේධ ප්‍රසාද් සහ දසුන් වැලිඅංග කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy – සියලුම දෙනා දැවී 242 (49.4) කාශ්‍යප දිසානායක 41, පුලීශ තිලකරත්න 23, ආදම් හිල්මි 51, රයන් ග්‍රෙගරි 51, දසුන් වැලිඅංග 23, ආකාශ් දිසානායක 2/41, හිරුෂ ප්‍රනාන්දු 2/38, අභීත් පරණවිදාන 2/34, රන්දීශ බණ්ඩාරනායක 2/28

Colombo South – කඩුලු 7ක් දැවී 243 (45.2) සුහස් ප්‍රනාන්දු 19, විමත් දින්සර 83, ඔශාන් ද සිල්වා 39, රමිරු පෙරේරා නොදැවී 71, රයන් ග්‍රෙගරි 2/20, කෙනුල පිහිලියංග 2/38

Colombo South කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

Dambulla සහ Galle අතර තරගය සමාධි පිටියේ දී.

කාසියේ වාසිය දිනා ගත් ගාල්ල නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පවිසි දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 246ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තරගය නිමා වීමට තවත් පන්දු 38ක් සහ කඩුලු 5ක් ඉතිරි ව තිබිය දී අදාළ ඉලක්කය සපුරා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වුනා.

Dambulla කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ජනිඳු රණසිංහ පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් ලකුණු 119ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඔහු හා පළමු කඩුල්ලට එක් වූ නවෝද්‍ය සමරසිංහ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 77ක දී ලකුණු 62ක් ලබා ගැනීමට ද සමත් වුනා.

අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ද පන්දු 121ක දී ලකුණු 85ක සබඳතාවක් එක් කිරීමට ජනිඳු රණසිංහ සමත් වෙන්නේ නායක චන්දූප අබේසිංහ ද එක් කර ගනිමිනුයි. චන්දූප අබේසිංහ පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ජිතිර සන්සිත ලකුණු 18කට කඩුලු 3ක් සහ ලින්දුල නුවංගන ලකුණු 53කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව විනෝද් දනුශ්ක සහ විරාන් චමුදිත කඩුල්ල බැගින් දවා ගත්තා.

Galle පිළිතුරු ඉනිමේ දී නායක, වමත් පිතිකරු විරාන් චමුදිත පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 117ක් ලබා ගත්තා.

ඔහු රන්දුල් මාබරණ සමඟ එක් ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 124ක දී ලකුණු 106ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. එහි දී රන්දුල් මාබරණ පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

ඊට අමතර ව තරගය අවසන් වන විට විරාන් චමුදිත සහ රශේන් දිල්හාර එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 43ක දී නොදැවුණ ලකුණු 68ක සබඳතාවක් එක් කළා. එහි දී රශේන් දිල්හාර පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සුතර්ශන් සුබර්නන් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දමේෂ් මතීශාන් සහ භාග්‍ය ඉෂාන් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla – කඩුලු 9ක් දැවී 246 (50.0) ජනිඳු රණසිංහ 119, නවෝද්‍ය සමරසිංහ 32, චන්දූප අබේසිංහ 24, සනුජ නිදුවර 26, ලින්දුල නුවංගන 3/53, ජිතිර සංසිත 3/18

Galle – කඩුලු 5ක් දැවී 250 (43.3) දුල්සිත් දර්ශන 33, රන්දුල් මාබරණ 51, විරාන් චමුදිත නොදැවී 117, රෙශාන් දිල්හාර නොදැවී 19, සුතර්ශන් සුබර්නන් 3/20

Galle කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

මෙම තරගාවලියේ තවත් තරග 2ක් මේ හෙට (25)  පැවැත්වීමට නියමිතයි. ඒ අනුව Colombo North සහ Galle කණඩායම් අතර පැවැත්වෙන තරගය සාලියපුර දීත් සහ Dambulla සහ Kandy කණ්ඩායම් අතර පැවැත්වෙන තරග සමාධි පිටියේ දීත් පැවැත්විමට නියමිතයි.

වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<