Shikhar Dhawan ක්‍රිකට් පිටියට සමුදෙයි!

Sri Lanka Tour of England 2024

3

ඉන්දීය සුපිරි පිතිකරු Shikhar Dhawan ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කර තිබෙනවා. 

ඉන්දියාව විසින් බිහි හළ විශිෂ්ට ආරම්භක පිතිකරුවකු ලෙස සැලකුම් ලබන Dhawan විසින් සමාජ මාධ්‍ය හරහා තැබූ සටහනකින් සිය සමු ගැනීම ප්‍රකාශයට පත් කර තිබුණා.

මේ තරම් කල් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිළිබඳ ඇති සිතේ සැනසීමත් සමඟ මම සමුගන්නවා. ඔබ තවදුරටත් ඉන්දියාවට ක්‍රීඩා නොකරන නිසා දුක් වෙන්න එපා, ඔබ ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිළිබඳ සතුටු වෙන්න කියලා මම මටම කියාගන්නවා.

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ 90 ඉක්මවූ ප්‍රහාරාත්මක වේගයක් සහ 40 ඉක්මවූ පිතිකරණ සාමාන්‍යයක් සමඟ ලකුණු 5000 සීමාව තරණය කළ පිතිකරුවන් අට දෙනා අතුරින් එක් අයකු ලෙසයි Dhawan ක්‍රීඩාවට සමු දෙන්නේ.

විස්සයි විස්ස, ටෙස්ට් සහ එක්දින තරග රටා ත්‍රිත්වයෙන් ම ඉන්දියාව නියෝජනය කළ Dhawan එක්දින පිතිකරුවකු ලෙස වැඩි වශයෙන් දක්ෂතා දැක්වීමට සමත් වුනා.

44.11ක පිතිකරණ සාමාන්‍යයක් සමඟ එක්දින ලකුණු 6793ක් ද, පිතිකරණ සාමාන්‍ය 40.61ක් සමඟ ටෙස්ට් ලකුණු 2315ක් ද, පිතිකරණ සාමාන්‍ය 27.92ක් සහ ප්‍රහාරාත්මක වේගය 126.36ක් සමඟ විස්සයි විස්ස ලකුණු 1759ක් ද වාර්තා කිරීමට සමත් වූ Dhawan 2013 ශූරයින්ගේ කුසලානය ඉන්දියාවට දිනා දීමේ මුල් පුරුකක් බවට ද පත් වුනා.

2013 ශූරයින්ගේ කුසලානය සමඟම ඉන්දීය කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් හිමි කරගත් Dhawan එතැන් සිට ICC ශූරතා තරගාවලි බොහෝමයක ඉන්දියාවේ ගැලවුම් කරු බවට පත් වීම ද විශේෂත්වයක්.

නමුත් 2019 ලෝක කුසලානය අතරතුර ආබාධයකට ලක් වීම Dhawanගේ ක්‍රීඩා ජීවිතයේ අවාසනාවන්ත කඩ ඉමක් බවට පත් වුනා.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට වරම් ලැබුවේ 2022 වසරේ වන අතර, ඔහු පසුගිය අප්‍රේල් මාසයේ දී Punjab Kings කණ්ඩායම නියෝජනය කරමින් සිය අවසන් IPL තරගාවලියට සහභාගී වුනා.

මෙතෙක් IPL ඉතිහාසයේ Virat Kohliට පමණක් දෙවැනි වෙමින් ඉහළම IPL ලකුණු ලාභීන් අතරට පැමිණීමට ද සමත් වී සිටින Dhawan ලකුණු 6793ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

Shikhar Dhawanගේ සමුගැනීම ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ විශාල පරිච්ඡේදයක නිමාව ලෙස සැකයකින් තොරව හඳුන්වා දිය හැකි.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<