අසිත සහ ප්‍රභාත් පන්දුවෙන් සාර්ථක වෙයි

Sri Lanka Tour of England 2024

2
Sri Lanka Tour of England 2024

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 259ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

පසුගිය බදාදා (21) දිනයේ දී තම පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව වාර්තා කළ ලකුණු 236ට පිළිතුරු වශයෙන් ඉනිම ආරම්භ කළ එංගලන්තය පළමු දිනය නිමා වන විට කිසිවකු නොදැවී ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (22) දිනයේ දී එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 18ක් ලබා සිටි Ben Duckett දවා ගැනීමට අසිත ප්‍රනාන්දු විසින් සමත් වූ අතර, එතැනින් නොනැවතුණු අසිත ඉන් පසුව නායක Ollie Popeගේ කඩුල්ල ද ඉතා ඉක්මනින් බිඳ හෙළීමට සමත් වුනා.

එංගලන්ත ඉනිමේ කඩුලු 3ක්ම ලකුණු 67ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකාව විසින් සමත් වූ නමුත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ Joe Root සහ Harry Brook දෙදෙනා විසින් ලකුණු 58ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.

කෙසේ වෙතත් නැවත ක්‍රියාත්මක වූ අසිත විසින් ලකුණු 42ක් ලබා ගෙන සිටි Rootගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුනා.

මේ අතර Harry Brook විසින් වටිනා අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 56ක් වාර්තා කළා. මේ අතර අසිතගේ සහයට පිවිසි ප්‍රභාත් ජයසූරිය විසින් Brook මෙන්ම, ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වූ Chris Woakesගේ කඩුල්ල ද බිඳ හෙළීමට සමත් වූ අතර, ඒත් සමඟම එංගලන්ත ඉනිමේ කඩුලු 6ක් බිඳ වැටී තිබුණා.

කෙසේ වෙතත් මින් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ව මැඩ පවත්වමින් දිනය නිමා වන තෙක් පිතිකරණයේ යෙදීමට Jamie Smith (ලකුණු 77*) සහ Gus Atkinson (ලකුණු 04*) සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත කඩුලු 3ක්, ප්‍රභාත් කඩුලු 2ක් සහ විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

ඊයේ දිනයට තරගය නතර කරන විට එංගලන්තය කඩුලු 4ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් රැඳුණා.

තරගයේ තෙවැනි දිනය අද (23) ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<