ලෝක වාර්තාවක් වෙත ගිය මිලාන් ශ්‍රී ලංකාවේ ගෞරවය රැක දෙයි!

Sri Lanka Tour of England 2024

12

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි එංගලන්තය කිසිවකුත් නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.

එංගලන්තයේ Old Trafford හිදි අද (21) සවස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තෝරාගත්තා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම;

 

දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක

එංගලන්ත කණ්ඩායම;

 

Daniel Lawrence, Ben Duckett, Ollie Pope, Joe Root, Harry Brook, Jamie Smith, Chris Woakes, Gus Atkinson, Matthew Potts, Mark Wood, Shoaib Bashir

කෙසේ වෙතත් ධනංජයගේ තීරණය පිළිබඳ සැක මතු කරමින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 3 ම ලකුණු 6ක් තුළ බිඳ හෙළීමට Gus Atkinson සහ Chris Woakes සමත් වුනා.

ඉන් පසුව කඩුල්ලට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 17ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඔවුන් කිසිවකු හෝ ශ්‍රී ලංකා ඉනිමේ වගකීම බාර ගැනීමට සමත් නොවීම නිසා ඉනිමේ 34 වැනි පන්දුවාරය තුළ ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 113ක් ලබා ඉතා අසරණ තත්වයකට පත් වී සිටියා.

ධනංජය නැවතත් සුපුරුදු වැඩ පෙන්වයි

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමක් අසීරුතාවට පත් වන බොහෝ අවස්ථාවල දී නැගී සිටිනා ධනංජය ද සිල්වා මෙවරත් සිය වගකීම අකුරට ඉටු කරමින් නවක ක්‍රීඩක මිලාන් සමඟ ඉනිමේ 08 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් නිර්මාණය කිරීමට සමත් වුනා.

මෙහි දී ධනංජය විසින් ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙමින් හතරේ පහර 08ක් සමඟ පන්දු 84කින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ධනංජය ශ්‍රී ලංකා ඉනිමේ 08 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට Shoaib Bashir විසින් සමත් වීම නිසා නැවතත් තරගයේ වාසිය එංගලන්තය සතු වුනා.

මිලාන් ලෝක වාර්තාවක් කරා!

මේ මොහොතේ ඉනිමේ 09 වැනි කඩුල්ල වෙනුවෙන් මිලාන් රත්නායක සමඟ කඩුල්ලේ එක් වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 50ක වටිනා සබඳතාවක් නිර්මාණය කිරීමට සමත් වුනා. මෙහි දී මිලාන් විසින් සිය මංගල ටෙස්ට් ඉනිම වෙනුවෙන් පන්දු 135ක් තුළ ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් ද සමඟයි.

මෙය මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 09 පිතිකරු ලෙස තම මංගල ටෙස්ට් ඉනිම දියත් කළ පිතිකරුවකු විසින් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම ඉනිම ශ්‍රී ලාංකික පිතිකරුවකු විසින් අංක 09 හෝ ඊට පහළ පිතිකරණ ස්ථානයක සිට වාර්තා කළ හොඳම මංගල ටෙස්ට්  ඉනිම ලෙස ද වාර්තා අතරට එක් වුනා.

මිලාන්ගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 10ක් එක් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 236ක් වාර්තා කර ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ අවාසනාවන්ත අසාර්ථක වීම නොවන්නට මෙම ලකුණු තත්වය තවත් ඉහළ යාමට ඉඩ තිබූ බව විශ්වාස කළ හැකි.

එංගලන්තය වෙනුවෙන් Chris Woakes සහ Shoaib Bashir කඩුලු 3 බැගින් බිඳ හෙළනා අතරේ, Gus Atkinson කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකා පළමු ඉනිමෙන් අනතුරුව එංගලන්තය සිය පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි අතර, ඔවුන් අද දිනය නිමා වන විට කිසිවකුත් නොදැවී ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

තරගයේ දෙවැනි දිනය හෙට (22) ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<