කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයෙන් ඉවතට රැගෙන යයි

ICC Women's T20 Cricket World Cup 2024

5
ICC Women's T20 Cricket World Cup 2024

ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිත ව තිබූ මෙම තරගාවලිය, එරට දේශපාලනික අර්බුද තත්ව හේතු කොට ගෙන වෙනත් රටකට ගෙන යාමට ICCයට සිදු වනු ඇති බව මීට පෙර වාර්තා වුනා.

මෙහි දී ඒ වෙනුවෙන් ආදේශක රටක් ලෙස ඉන්දියාව තෝරා ගැනීමට ඔවුන් පළමුව බලාපොරොත්තු වූ නමුත් BCCI විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. පසුව ICCයේ අවධානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව වෙත යොමු වූ අතර, ඔවුන්ගේ අවසන් තීරණය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට තෝරා ගෙන තිබෙනවා.

බංග්ලාදේශයේ මෑත කාලීන ව ඇති වූ දේශපාලනික අර්බුද නිසා මෙම තීරණය ගැනීමට සිදු වූ අතර, බංග්ලාදේශ රජය විසින් මෙහි දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පවා යම් සහයක් ගැනීමට උත්සුක වුනා.

කෙසේ වෙතත් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය මෙන්ම එංගලන්තය වැනි රටවල් කිහිපයක් ම තම සංචාරක ගැටලු මතු කිරීම නිසා ICCයට මෙම තීරණය ගැනීමට සිදු වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මීට පෙර 2021 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ද සිය සත්කාරකත්වය ලබා දුන්නා. කෙසේ වෙතත් බංග්ලාදේශයට තවදුරටත් තරගාවලියේ සත්කාරක අයිතීන් හිමි වන බවයි ICCය විසින් අවධාරණය කරන්නේ.

කණ්ඩායම් 10ක් සහභාගී වන මෙවර තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 03 වැනි දා සිට 20 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<