ශූරතාව අයර්ලන්තයට – ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

Sri Lanka Women Tour of Ireland

3

චමරි අතපත්තු ගේ තුන් ඉරියව් දක්ෂතා සහ හර්ෂිතා සමරවික්‍රම සහ අචිනි කුලසූරිය ගේ ද දක්ෂතා මතින් අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති 3 වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (20) සමත් වුනා.  

Belfast හී Civil Service ක්‍රීඩාංගණයේ දී අවසන් වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 122ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව එම අභියෝගය කඩුලු 8ක් සහ පන්දු 161ක් ඉතිරි ව සපුරා ගත්තා.  

මෙම තරගයෙන් පරාජය වූව ද මීට පෙර පැවැති තරග ද්විත්වය ම ජයග්‍රහණ කළ සත්කාරක අයර්ලන්ත ක්‍රීඩිකාවෝ තරග 3කින් යුත් දෙරට අතර පැවැති මංගල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියෙන් 2-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මේ සමඟින් සමත් වූවා.   

මෙම තරගාවලිය ICC Women’s Championship තරගාවලියට අයත් තරග වූ අතර දෙරට කණ්ඩායම් අතුරින් ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ සිටිමිනුත් සහ අයර්ලන්තය 10 වැනි ස්ථානයේ සිටිමිනුත් මෙම තරගාවලියට එක් වූවා. එසේ වූවත් ලත් එක ම ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාව එක් පියවරක් ඉදිරියට පැමිණීමට සමත් වූ අතර අයර්ලන්තය තව දුරටත් එම ස්ථානයේ රැඳී සිටිනවා. ඒ ඔවුන් සහ 9 වැනි ස්ථානයේ සිටින බංග්ලාදේශය අතර විශාල පරතරයක් පවතින බැවිනුයි.  

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව මෙන් ම අයර්ලන්තය ද වෙනස්කම් 2ක් සිදු කරමින් පිටියට පිවිසෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙර තරගයට එක් වූ සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී වෙනුවට මෙම තරගයේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී සහ අමා කාංචනා කැඳවා තිබුණා. අයර්ලන්තය පිටියට පිවිසියේ පෙර තරගයට ක්‍රීඩා කළ Jane Maguire සහ Alana Dalzell වෙනුවට Ava Canning සහ Alice Tector එක් කර ගනිමිනුයි.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම:  

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, සචිනි නිසංසලා, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී, අමා කාංචනා.

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම:  

Orla Prendergast (නායිකාව), Sarah Forbes, Christina Coulter Reilly, Amy Hunter (කඩුලු රකින්නිය), Leah Paul, Rebecca Stokell, Arlene Kelly, Ava Canning, Alice Tector, Freya Sargent, Aimee Maguire. 

මෙම තරගයේ ද කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ තීරණය වූයේ පන්දු යැවීමයි. ඒ අනුව ඔවුන් ප්‍රතිවාදී අයර්ලන්තයට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා.  

ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පිටියට පිවිසි ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ඉනිමේ පළමු පන්දු 2 දී දවා ගැනීමට අචිනි කුලසූරිය සමත් වූවා. ඉන් අනතුරු ව ලකුණු පුවරුව 13ක් වෙද්දී තවත් කඩුලු 2ක් දැවී යැමත් සමඟින් අයර්ලන්තයේ බල සිඳී ගියා.  

අනතුරු ව පිටියට පිවිසි ක්‍රීඩිකාවන් අතුරින් වැඩිම ලකුණු ලබාගත් පිතිකාරිනිය වූයේ Arlene Kelly. ඇය පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා. ඊට අමතර ව Leah Paul පන්දු 53ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 36ක සබඳතාවක් එක් කරන්නට සමත් නොවුනා නම් ඔවුන්ගේ ඉරණම මීට වෙනස් වීමට ඉඩ තිබුණා. කෙසේ වෙතත් ඔවුන් මේ සබඳතාව ගොඩ නැගීම වෙනුවෙන් පන්දු 88ක් වැය කරනවා.  

ඔවුන්ගේ දැවී යෑම්වලින් අනතුරු ව අයර්ලන්ත ඉනිමේ අවසන් පිතිකාරිනියන් තිදෙනා එක් ව පන්දු 70ක දී ලකුණු 40ක් එක් කිරීම කැපි පෙණුනා. ඒ අනුව Alice Tector පන්දු 29ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ද, Freya Sargent පන්දු 36ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද සහ Aimee Maguire පන්දු 15ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී චමරි අතපත්තු ලකුණු 15කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එමෙන් ම එම දක්ෂතාව ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග 107ක හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.   

ඊට පෙර ඇයගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් ව තිබුනේ 2016 වසරේ දඹුල්ලේ දී ඔස්ට්‍රේලියාවට එරෙහි ව ලකුණු 31කට දවා ගත් කඩුලු 3යි.  

අචිනි කුලසූරිය ද තම එක්දින ජාත්‍යන්තර තරග 26ක හොඳම පන්දු යැවීම අද වාර්තා කිරීමට සමත් වෙනවා. ඇය ලකුණු 35කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට පෙර ඇයගේ හොඳම පන්දු යැවීම වී තිබුණේ 2019 වසරේ දී Brisbane හි දී ඔස්ට්‍රේලියාවට එරෙහි ව ලකුණු 50කට දවා ගත් කඩුලු 3යි.  

ඔවුන්ට අමතර ව සචිනි නිසංසලා ලකුණු 35කට කඩුලු 2ක් ද, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ අමා කාංචනා කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක් ලබා ගැනීමට විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු සමත් වුනා. ඒ අතුරින් විශ්මි ගුණරත්න පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 9ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.  

අනතුරු ව චමරි අතපත්තුට එක් වූ හර්ෂිතා සමරවික්‍රම 2 වැනි කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 62ක සබඳතාවක් එක් කරනවා. එහි දී චමරි අතපත්තු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නවා. 

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී හර්ෂිතා සමරවික්‍රම පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ද සහ කවීෂා දිල්හාරි පන්දු 15කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 10ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Ava Canning සහ Freya Sargent අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 122 (46.3) Leah Paul 19, Arlene Kelly 35, Alice Tector 17, අචිනි කුලසූරිය 3/35, සචිනි නිසංසලා 2/35, චමරි අතපත්තු 3/15 

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 123 (23.1) චමරි අතපත්තු 48, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 48, කවීෂා දිල්හාරි නොදැවී 10, Ava Canning 1/14 

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 8ක ජයක්. 

  • තරගයේ වීරයා – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)
  • තරගාවලියේ වීරයා – Arlene Kelly (අයර්ලන්තය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<