දශකයක ජය සොයන එංගලන්ත සංචාරය

Sri Lanka Tour Of England

5

ටෙස්ට් තරගයක දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට එංගලන්තයේ දී පරාජය කරමින් ගෙවී යන 10 වැනි වසරේ දී නැවත වතාවක් දෙරට ක්‍රීඩකයෝ එකිනෙකා හමුවෙන්නේ සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩාත් අභියෝගාත්මක තරගාවලියක් නිර්මාණය කරමින්.  

2014 වසරේ දී ලැබූ එම ජයග්‍රහණයෙන් පසුව දෙරට ක්‍රීඩකයෝ තවත් තරග 8කට එක් වූ අතර ඒ කිසිඳු තරගයක දී ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙන්නේ නැහැ. එමෙන් ම 2020 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව සිම්බාබ්වේ දී ලැබූ ජයග්‍රහණයෙන් පසුව ආසියාවෙන් පිටත කලාපයක කළ සංචාරක දී වසර 4කින් නොලද ටෙස්ට් තරග ජයග්‍රහණයක වේදනාවෙන් ද ඔවුන්  පෙළෙනවා.  

ඒ සියලු වේදනාවන්ට සහ අසනීපයන් සුව කර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් ලැබී තිබෙනවා. එහි පළමු තරගය හෙට (21) Manchester හී Old Trafford ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.  

ඒ සඳහා පෙර සූදානමට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම එක ම පුහුණු තරගය නිමා කරන්නේ ද එංගලන්ත Lions කණ්ඩායම හමුවේ කඩුලු 7ක පරාජයකට මුහුණ දෙමිනුයි. එම පෙරනිමිත්ත කිසිසේත් ම සුබදායි නොවේ.  

වසර 10කින් එංගලන්ත කණ්ඩායමක් එංගලන්තයේ දී පරාජය නොකිරීමත්, සිව් වසරක් තිස්සේ ආසියාවෙන් පිටත කලාපයක දී ටෙස්ට් තරග ජයග්‍රහණයක් නොලැබීමත් සහ එක ම පුහුණු තරගයෙන් ලැබූ පරාජයත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙළෙන ව්‍යාධි බවට මේ අවස්ථාව වන විට පත් ව ඇතිවාට කිසිදු සැකයක් නැහැ.  

ඔවුන්ට එය මඟ හැරීමට නම් කළ යුතු එක ම දේ වන්නේ ඒ මත ම සිටිමින් කටයුතු කරනවාට වඩා ඊට තම තමන්ගේ දක්ෂතා මඟින් ප්‍රතිකාර සෙවීමයි.  

ඒ සඳහා ඔවුන්ට ටෙස්ට් ක්‍රිකට් පිටියේ වඩාත් පළපුරුදු දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සිටින අතර ඊට අමතර ව පිතිකරුවන් ලෙසින් නායක ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, නිශාන් මධුශ්ක ද සහ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස් ද සහ පන්දු යවන්නන් ලෙසින් අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු ද සිටී.  

ඊට අමතර ව සදීර සමරවික්‍රම, නිශාන් මධුශ්ක, කසුන් රාජිත, ලහිරු කුමාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ මෙන් ම නවකයන් ලෙසින් කණ්ඩායමට එක් වූ මිලාන් රත්නායක සහ නිසල තාරක ද වෙයි.  

මේ අතුරින් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වෙන කණ්ඩායම කවුදැයී සෙවීම ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු අභියෝගයයි. ඒ කවුරුන් කණ්ඩායමට එක් කර ගත්ත ද ඒ සියල්ලට ම වෙන් වෙන් ව වගකීම් පැවැරී තිබේ. එය මනා සේ දැනුවත් ව ඉටු කෙරෙන්නේ නම් මෙම තරගාවලිය දශකයක බලාපොරොත්තු සඵල වන අත්දැකීමක් කර ගත හැකි වනු නියතයි.  

එය නිවැරදි ව ගලපා ගැනීමට මෙම තරගාවලිය සඳහා පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙසින් එක්කර ඇති එංගලන්ත ජාතික Ian Bell ගේ සේවය ද වඩා ඉවහල් කර ගත හැකියි.  

තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා සංචිතය –  

ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), දිනේෂ් චන්දිමාල් (කඩුලු රකින්නා), ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක, ජෙෆ්රි වැන්ඩර්සේ, නිශාන් මධුශ්ක (කඩුලු රකින්නා), විශ්ව ප්‍රනාන්දු, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, කසුන් රාජිත, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා). 

එංගලන්ත කණ්ඩායම 

සත්කාරක එංගලන්තය මෙම තරගාවලියට එක් වෙන්නේ නිත්‍ය නායක Ben Stokes නොමැතිවයි. ඒ ඔහු මේ දිනවල එංගලන්තයේ ක්‍රියාත්මක The Hundred ක්‍රිකට් තරගාවලියේ දී ආබාධයකට ලක් වීමත් සමඟින් මෙම සංචිතයෙන් ඉවත් කිරීම නිසයි.  

ඔහුගෙන් හිස්වන නායකත්වයේ අසුන උප නායක Ollie Pope වෙත බාර දී තිබෙනවා. ඒ අනුව ඔහු මෙවර තරගාවලියේ දී එංගලන්තයේ 82 වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසින් අභිශේක ලැබීමට නියමිතයි. 

ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරන Ollie Pope මේ දක්වා ටෙස්ට් තරග 46කට මුහුණ දෙමින් ශතක 6ක් සහ අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2690ක් ලබා ගනිමින් මෙම තරගාවලිය හා එක් වෙනවා. ඔහුගේ ශ්‍රී ලංකාව සමඟ තරග බිමට පිවිසෙන පළමු අවස්ථාව මෙයයි. 

තරගාවලියේ අවධානය දැක් විය යුතු එංගලන්ත ක්‍රීඩකයෝ 

Joe Root 

කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවා වී සිටින්නේ දකුණත් ඉදිරි පෙළ පිතිකරු Joe Root. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 143කට සහභාගී වෙමින් ශතක 32ක් සමඟින් ලකුණු 12027ක් ලබා සිටිනවා. ඉන් ලකුණු 1001ක් ම ලබා ඇත්තේ ශ්‍රී ලංකාවට වන අතර ඒ අතර ද්විත්ව ශතක ද්විත්වයක් සහ ශතක ද්විත්වයක් ද රැඳී තිබෙනවා.  

ඔහු අවසන් ටෙස්ට් ඉනිම් 10 දී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් ද සමඟ ලකුණු 559ක් ලබා ගැනීමට සමත් ව සිටිනවා.  

Chris Woakes 

35 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Chris Woakes ද කණ්ඩායමේ සිටින වඩාත් පරිනත ක්‍රීඩකයෙක් සේ ම ආරක්ෂා සහිත විය යුතු ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්වෙනවා.  

ඔහු මේ දක්වා ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරග 51 දී ශතකයක් සමඟින් ලකුණු 1888ක් සහ කඩුලු 160ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.  

Ben Duckett 

29 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකරු Ben Duckett ද එංගලන්ත කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් නම් කෙරෙනවා. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 23කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලබා ඇත්තේ ලකුණු 1642ක් වූව ද ඔහුගේ අවසන් ඉනිම් 10 දී ලකුණු 605ක් ලබා ගැනීමට සමත් වෙන්නේ සාමාන්‍ය 35.59ක වේගයක් ද රඳවා ගනිමිනුයි.   

Mark Wood 

එංගලන්ත කණ්ඩායමේ දකුණතින් වේග පන්දු යවන Mark Wood වෙත ද තබා ඇත්තේ නොමද විශ්වාසයක්. 34 හැවිරිදි වියේ පසුවෙන මෙම ක්‍රීඩකයා මේ දක්වා ටෙස්ට් තරග 36කට එක් වෙමින් කඩුලු 117ක් දවා ගනිමින් එංගලන්ත කණ්ඩායමේ විශ්වාසය දිනා තිබෙනවා.  

Jordan Cox  

23 හැවිරිදි වියේ පසුවෙන කඩුලු රකින පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණයට ලත් Jordan Cox ද මෑත කාලීනව එංගලන්ත පළමු පෙළ පිටියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්. ඔහු මෙතෙක් පළමු පෙළ තරග 51කට ක්‍රීඩා කරමින් ශතක 7ක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 3039ක් ලබා ඇති අතර ඔහු නවක ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් කර තිබෙනවා.  

එංගලන්ත ටෙස්ට් සංචිතය –  

Ollie Pope (නායක), Ben Duckett, Dan Lawrence, Joe Root, Harry Brook (උප නායක), Jamie Smith (කඩුලු රකින්නා), Chris Woakes, Gus Atkinson, Matthew Potts, Mark Wood, Shoaib Bashir, Jordan Cox (කඩුලු රකින්නා), Olly Stone 

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<