හර්ෂිතාත් එක්දින ශතක සමාජයට

Sri Lanka Women Tour of Ireland

6

හර්ෂිතා සමරවික්‍රම ගේ ශතකයෙන් හැඩ වූ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකාරිනියන් 5 දෙනා ලකුණු 30කට සීමා කරමින් දෙරට අතර පැවැති 2 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයග්‍රහණයක් ලබා ගත් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ තරග 3කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරි ව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට සමත් වූවා.  

ඊයේ (18) රාත්‍රී Belfast හී Civil Service ක්‍රීඩාංගණයේ දී අවසන් වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 240ක් පමණයි. 

ඒ අනුව සත්කාරක අයර්ලන්ත ක්‍රීඩිකාවෝ දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් සහ 2 වැනි එක්දින තරගයෙන් ලකුණු 15ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරග 3කින් සමන්විත වූ තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට වූවා. මෙම තරග ජයග්‍රහණය ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කරන ලද මංගල එක්දින තරගාවලි ජයග්‍රහණයයි.   

 ඊයේ තරගයේ දී අයර්ලන්තයේ නිත්‍ය නායිකා Laura Delany ක්‍රීඩා නොකළ අතර ඒ වෙනුවෙන් නායකත්වයේ කටයුතු කළේ 22 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩිකා Orla Prendergast. ඒ අනුව ඇය අයර්ලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග මෙහෙයවූ 14 වැනි නායිකාව බවට පත් වූවා.  

එමෙන් ම මෙම තරගයේ දී අයර්ලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට 21 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකාරිනී Christina Coulter Reilly ද සමත් වෙනවා. ඇය පිටියට පිවිසෙන්නේ නායිකා Laura Delany වෙනුවටයි. ඊට අමතර ව පෙර තරගයට ක්‍රීඩා කළ Alice Tector වෙනුවට Aimee Maguire ද අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් නම් කර තිබුණා.  

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම එක් කර ගනිමිනුයි.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම:  

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, සචිනි නිසංසලා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී. 

 

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම:  

Orla Prendergast (නායිකාව), Sarah Forbes, Christina Coulter Reilly, Amy Hunter (කඩුලු රකින්නිය), Leah Paul, Rebecca Stokell, Arlene Kelly, Jane Maguire, Alana Dalzell, Freya Sargent, Aimee Maguire.  

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් ම පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ සත්කාකර අයර්ලන්ත ක්‍රීඩිකාවෝයි. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 10ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රීඩිකාවන්ට හැකි වූව ද 2 වැනි කඩුල්ල සඳහා පන්දු 53ක දී ලකුණු 45ක සබඳතාවක් එක් කිරීමට නවක ක්‍රීඩිකා Christina Coulter Reilly (24) සහ Amy Hunter සමත් වෙනවා.  

18 හැවිරිදි වියේ පසුවෙන Amy Hunter මෙම තරගයේ දී පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 66ක් ලබා ගන්නවා. ඇය Leah Paul සමඟ එක් වෙමින් 4 වැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ද එක් කරනවා.   

එම කඩුල්ල දැවී යන විට අයර්ලන්ත ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 134ක් ව පැවැති අතර 5 වැනි කඩුල්ලට ලකුණු 114ක සබඳතාවක් එක් කිරීමට Leah Paul සහ Rebecca Stokell සමත් වෙන්නේ පන්දු 112ක දී එක් වෙමිනුයි.  

එහි දී Leah Paul පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 81ක් ලබා ගන්නවා. අයර්ලන්ත ඉනිම අවසන් වන විට තම 16 වැනි එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරමින් සිටි Rebecca Stokell තම මංගල අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වෙනවා. ඇය පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් එල්ල කරමින් මෙම දක්ෂතාව දැක් වූවා.  

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි සහ අචිනි කුලසූරිය කඩුලු 2ක් බැගින් දවා ගනිද්දී චමරි අතපත්තු කඩුල්ලක් දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී විශ්මි ගුණරත්න ලකුණු 2කට දැවී ගිය අතර ඒ වෙද්දී ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 4ක් ලෙසයි.  

අනතුරු ව 2 වැනි කඩුල්ල සඳහා පන්දු 39ක දී ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගීමට චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම සමත් වෙනවා. චමරි අතපත්තු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.  

අනතුරු ව පිටියට එක් වූ කවීෂා දිල්හාරි සමඟ එක් වූ හර්ෂිතා සමරවික්‍රම 3 වැනි කඩුල්ලට පන්දු 151ක දී ලකුණු 126ක සබඳතාවක් ගොඩ නගනවා. ඒ අතර කාලයේ දී කවීෂා දිල්හාරි තම 25ක් වන එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 2 වැනි අර්ධ ශතකය වාර්තා කරන ලද අතර ඇය ඉනිම හැර යද්දී පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා.  

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 210ක් වෙද්දී එතෙක් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ යෙදුණ හර්ෂිතා සමරවික්‍රම ද දැවී යනවා. 26 හැවිරිදි වියේ පසුවෙන හර්ෂිතා සමරවික්‍රම මෙම තරගයේ දී පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 105ක් ලබා ගන්නවා. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග 32ක හොඳම ඉනිම බවට පත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක ලබා ගත් තෙවැනි ක්‍රීඩිකාව ලෙසින් ද එම ඉනිම ඉතිහාසයට එක් කර ගත්තා.  

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව පන්දු 36ක් තුළ දී ලකුණු 30ක් පමණක් වැය කරමින් ඉතිරි කඩුලු 5 දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නියෝ සමත් වූවා. එහි දී හසිනි පෙරේරා (14), සචිනි නිසංසලා (1), සුගන්දිකා කුමාරි (2), අචිනි කුලසූරිය (0) සහ උදේශිකා ප්‍රබෝධනි (2) අඩු ලකුණුවලට සීමා වෙනවා. ඊට පෙර සිවු වැනි කඩුල්ල ලෙසින් දැවී ගිය අනුශ්කා සංජීවනී ද මෙම තරගයේ දී ලකුණු නොලබා ම දැවී ගියා. 

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී නිලක්ෂිකා සිල්වා පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා.  

පන්දු යැවීමේ දී  Arlene Kelly කඩුලු 3ක්, Jane Maguire කඩුලු 2ක්,  Orla Prendergast, Freya Sargent සහ Aimee Maguire කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 261 (49.2) Christina Coulter Reilly 24, Amy Hunter 66, Leah Paul 81, Rebecca Stokell නොදැවී 53, අචිනි කුලසූරිය 2/48, කවීෂා දිල්හාරි 2/35 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 240 (48.0) චමරි අතපත්තු 22, හර්ෂිතා සමරවික්‍රම 105, කවීෂා දිල්හාරි 53, නිලක්ෂිකා සිල්වා නොදැවී 24, Jane Maguire 2/33, Arlene Kelly 3/41 

අයර්ලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 15ක ජයක්. 

  • තරගයේ වීරයා – Leah Paul (අයර්ලන්තය)

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය හෙට (20) Belfast හී Civil Service ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<