සූරි T10 ශූරතාව ගාල්ලට ගෙන යයි

Sri Lanka Sports Fiesta T10 League

3

5 වැනි කඩුල්ලට පන්දු 22ක දී නොදැවුණ ලකුණු 60ක් ලබා ගනිද්දී, ඉන් පන්දු 17ක දී නොදැවී ලකුණු 53ක් ලබා ගත් පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Sri Lanka  Sports Fiesta T10 League ක්‍රිකට් තරගාවලියේ ශූරතාව Galle කණ්ඩායමට දිනා දීමට අද (18) සමත් වුනා.  

කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී Kandy කණ්ඩායමට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් ලැබූ ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කිව්වා.  

වර්ෂාව හේතුවෙන් තරගාවලියේ පළමු වටයේ කිසිදු තරගයක් පැවැත්වීමට නොහැකි වූ අතර තරගාවලියේ පවත්වන ලද එක ම තරගය වූයේ ද මෙම අවසන් මහා තරගයයි.  

අද (18) පෙරවරුවේ Colombo සහ Kandy කණ්ඩායම් අතර තරගයත්, දහවල් Dambulla සහ Jaffna කණ්ඩායම් අතර තරගයත් පැවැත්වීමට නියමිත ව තිබුණ ද එම තරග 2ත් පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් ක්‍රීඩාංගණයේ පැවැතියේ නැහැ. ඒ අනුව තරගාවලියේ පළමු වටයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ 10 එකඳු හෝ පන්දුවක් හෝ නොයවාම අතහැර දැමුණා.  

එබැවින් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැනීමට කුසපත් ඇඳීම මගින් සිදු වූවා. ඒ අනුව ලහිරු උදාර ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමත් සහ දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායමත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

ඒ අනුව පැවැති අවසන් මහා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 125ක් ලබා ගත් අතර ඊට පිළිතුර ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී 128ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.  

Kandy කණ්ඩායම – ලහිරු උදාර (නායක සහ කඩුලු රකින්නා), තනුක දාබරේ, කමිල් මිෂාර, අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ, රවිඳු රත්නායක, නිපුන් රංසික, ලසිත් ඇඹුල්දෙණිය, වනුජ සහන්, චාමික ගුණසේකර, නිම්සර අතරගල්ල.  

 

Galle කණ්ඩායම –  දුනිත් වෙල්ලාලගේ (නායක), යශෝධ ලංකා, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), ඔෂද ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, පසිඳු සූරියබණ්ඩාර, අකිල ධනංජය, ශිරාන් ප්‍රනාන්දු, ගරුක සංකේත්, නිමේෂ් විමුක්ති, මල්ෂ තරුපති. 

කාසියේ වාසිය ජයග්‍රහණය ගාල්ල නායක දුනිත් වෙල්ලාලගේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී මහනුවර කණ්ඩායම වෙත ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 12ක් තුළ නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ධනංජය ලක්ෂාන් සහ ශිරාන් ප්‍රනාන්දු සමත් වුනා.  

ඔවුන්ගේ ගොදුරු බවට පත් වූයේ නායක ලහිරු උදාර (0), කමිල් මිෂාර (0) සහ තනුක දාබරේ (6). නමුත් සිව් වැනි කඩුල්ලේ දී පන්දු 51ක දී ලකුණු 107ක සබඳතාවක් තම කණ්ඩායමට එක් කිරීමට අහන් වික්‍රමසිංහ සහ සහන් ආරච්චිගේ සමත් වුනා.  

ඔවුන්ගේ මෙම සබඳතාව බිඳ දැමීමට ගාලු පන්දු යවන්නෝ 7 දෙනෙක් උත්සාහ කළ ද එය අවසන් පන්දුවාරය තෙක් ම ක්‍රියාත්මක කිරීමට ඔවුන් දෙදෙනා සමත් වීම කැපී පෙණුනා. එම සබඳතාව බිඳී යන්නේ නිමේෂ් විමුක්ති විසින් යැවුණ අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී සහන් ආරච්චිගේ දැවී යෑමත් සමඟයි.  

සහන් ආරච්චිගේ දැවී යන විට පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා. මහනුවර ඉනිම හයේ පහරකින් අවසන් කිරීමට තමන් මුහුණ දුන් එක ම පන්දුවේ දී රවිඳු ප්‍රනාන්දු සමත් වුනා.  

ඒ වෙද්දී අනෙක් අන්තයේ රැඳී සිටි අහන් වික්‍රමසිංහ පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත් අතර ශිරාන් ප්‍රනාන්දු සහ නිමේෂ් විමුක්ති කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ගාලු ඉනිම ආරම්භ කරන්නේ යශෝධ ලංකා සහ සොහාන් ද ලිවේරා විසිනුයි. නමුත් ඔවුන් දෙදෙනාගේ සබඳතාව පන්දු 10කට පමණක් සීමා වුනා. සොහාන් ද ලිවේරා තමන් මුහුණ දුන් තෙවැනි පන්දුවේ දී ලකුණු 2ක් ලබා සිටිය දී දැවී යනවා.  

අනතුරු ව යශෝධ ලංකා ට එකතු වෙන්නේ ඔෂද ප්‍රනාන්දු යි. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 17ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කරනවා. යශෝධ ලංකා පන්දු 10කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගනිමින් දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා.  

ඉන් අනතුරු ව යැවුණ තෙවැනි පන්දුවේ දී දුනිත් වෙල්ලාලගේ (1) ද  දැවී යෑමත් සමඟින් ගාලු ඉනිම පන්දුවාර 4.5ක දී කඩුලු 3ක් දැවී ලකුණු 50ක් බවට පත් වෙනවා.  

ජයග්‍රහණය සඳහා පන්දු 31කට ලකුණු 76ක් අවශ්‍ය වූ ඉනිමේ අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ධනංජය ලක්ෂාන් එතැන් සිට යැවුණ පන්දු 5 තුළ දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් ද සමඟින් ලකුණු 17ක් ලබා ගනිමින් තම ඉනිම හමාර කරනවා.  

අනතුරු ව පිටියට පිවිසෙන්නේ පසිඳු සූරියබණ්ඩාර යි. ඔහු එතැන් සිට තරගයේ පාලනය සියතට ගන්නේ තරගය අවසන් වීමට යැවුණ පන්දු 22න් 17කට ම මුහුණ දෙමිනුයි. ගාලු ඉනිමට තවත් පන්දු 4ක් ද ඉතිරි කර දෙමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යන විට පසිඳු සූරියබණ්ඩාර හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියා.  

අනෙක් අන්තයේ සිටි ඔෂද ප්‍රනාන්දු පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 60ක සබඳතාවක් ද ඒ වෙද්දී එක් කර තිබුණා.  

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව නිම්සර අතරගල්ල සහ තනුක දාබරේ අතරේ කඩුල්ලක් බැගින් බෙදී ගියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

Kandy කණ්ඩායම: කඩුලු 4ක් දැවී 125 (10.0) අහන් වික්‍රමසිංහ නොදැවී 52, සහන් ආරච්චිගේ 55, ධනංජය ලක්ෂාන් 2/27 

Galle කණ්ඩායම – කඩුලු 4ක් දැවී 128 (9.2) යශෝධ ලංකා 24, ඔෂද ප්‍රනාන්දු නොදැවී 18, ධනංජය ලක්ෂාන් 17, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 53, ලසිත් ඇඹුල්දෙණිය 2/24 

Galle කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  

  • අවසන් මහා තරගයේ වීරයා – පසිඳු සූරියබණ්ඩාර (Galle කණ්ඩායම)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<