සාන්ත පීතර ක්‍රීඩකයින් අපරාජිතව ශූරතාව කරා යයි!

Dialog Schools Rugby League 2024

1
Dialog Schools Rugby League 2024

2024 Dialog පාසල් රග්බි ලීගයේ ශූරතාව දිනා ගැනීමට සාන්ත පිීතර විද්‍යාලය අද (17) සමත් වුනා.

මෙවර රග්බි ලීගයේ අවසන් සති අන්තය වූ මෙම සති අන්තයේ දී සුපිරි තරග වටයේ කණ්ඩායම් හතර ක්‍රීඩා කරන අවසන් තරග ද්විත්වය අද ක්‍රියාත්මක වුනා.

එහි එක් තරගයක් රාජකීය විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

රාජකීය විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

(සුගතදාස ක්‍රීඩාංගණයේ දී)

මෙම තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම රාජකීයයන් සතු වූ අතර, ඔවුන් විසින් මෙම අර්ධය තුළ ලකුණු 22ක් වාර්තා කිරීමට සමත් වුනේ, ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමෙන් වළක්වාලන අතරතුර දීයි.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ත්‍රිත්ව ක්‍රීඩකයින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වෙමින් රාජකීයයන් තවදුරටත් ලකුණු ලබා ගැනීම නතර කිරීමට සමත් වුනා. නමුත් ඔවුන්ට මෙම කාල සීමාව තුළ ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 19ක් පමණයි. මේ හේතුවෙන් තරගයෙන් ලකුණු 03ක පරතරයක් සහිතව තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය විසින් සමත් වුනා.

  • රාජකීය විද්‍යාලය 22(3T, 2C, 1P) – ත්‍රිත්ව විද්‍යාලය 19 (3T, 2C)

තරගයේ වීරයා – Idris Farook (රාජකීය විද්‍යාලය)

සාන්ත පීතර විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

(හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී)

මේ අතර අනෙක් තරගය මෙවර ලීගයේ අපරාජිත කණ්ඩායම් ද්විත්වය වූ සාන්ත පීතර සහ ඉසිපතන විද්‍යාල අතර ක්‍රියාත්මක වුනා.

මෙතෙක් සිය අපරාජිත බව රැක ගැනීමට දෙපිළම සමත් වීම නිසා සමස්ත ශූරතාව වෙත යාමට මෙම තරගයේ ජයග්‍රහණය දෙපිළට ම වැදගත් වුනත්, ලකුණු සටහනේ තත්වය අනුව ඉසිපතන ක්‍රීඩකයින්ට මෙම ජයග්‍රහණය වඩා වැදගත් එකක් වුනා.

කෙසේ වෙතත් මෙම දිනවල අධික ලෙස ඇද හැලෙන වර්ෂාවෙන් අද තරගයට දැඩි බාධා පැමිණුණ අතර, ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම පාහේ තෙත බරිත වී තිබීම ක්‍රීඩකයින්ට තමන්ගේ උපරිමය වෙත යාමට විශාල අවහිරයක් වුනා.

මෙවන් වාතාවරණයක් තුළ ආරම්භ වූ තරගයේ පළමු තත්පරයේ පටන් තරගය ඉතා උණුසුම් අයුරින් ක්‍රියාත්මක වූ අතර, දෙපිළම කරට කර තරග වැදීමට යොමු වුනා.

තරගයේ පළමු අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු පුවරුවට ලකුණු 03ක් එක් කර ගැනීමට සමත් වූ අතර, සමස්ත පළමු අර්ධය පුරාවට වාර්තා වුනේ එම ලකුණු 03 පමණක් වීම විශේෂත්වයක්.

තරගයේ දෙවැනි අර්ධය තුළ ද දෙපිළට ම උත්සාහක දිනුම් කරා යාමට අවකාශයක් හිමි නොවුනත්, තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගත් පීතර ක්‍රීඩකයින් ලකුණු තත්වය 6-0ක් තෙක් ඉදිරියට රැගෙන ගියා. මේ අතරතුර ඉසිපතන ක්‍රීඩකයින් ද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 6-3ක් මට්ටමට රැගෙන ඒමට සමත් වුනා. කෙසේ වෙතත් එතැනින් එහාට යාමට ඉසිපතන විද්‍යාලය සමත් නොවීම නිසා සාන්ත පීතර ක්‍රීඩකයින් මෙම තරගයේ ජයග්‍රහණය මෙන්ම, 2024 පාසල් රග්බි ලීග් ශූරතාවය ද තමන් සතු කර ගැනීමට සමත් වුනා.

  • සාන්ත පීතර විද්‍යාලය 06(2P)  03 (1P)

තරගයේ වීරයා දුලාජ් නවෝද්‍ය (සාන්ත පීතර විද්‍යාලය)

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<