ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

Sri Lanka tour of England 2024

12
Sri Lanka Tour of England 2024

ශ්‍රී ලංකාවේ එංගලන්ත තරග සංචාරයේ පළමු සහ එකම පුහුණු තරගයේ තෙවැනි දිනය ඊයේ (16) ක්‍රියාත්මක වුනා.

තරගයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට එංගලන්ත Lions කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 185ක් ඉදිරියෙන් රැඳෙමින් සිය පළමු ඉනිම නිමා කළ අතර, ඒ අනුව තෙවැනි දිනයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අරමුණ වුනේ ඉනිමක පරාජයෙන් ගැලවීම වෙනුවෙන් සටන් කිරීමයි.

ඊයේ දිනයේ එම සටන වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුශ්ක ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 23ක් තුළ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී දිමුත් ලකුණු 43ක් ලබා ගැනීමෙන් පසුව ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, පන්දු 88ක් තුළ ලකුණු 77ක් ලබා ගත් නිශාන් මදුශ්ක ඉනිමේ තෙවන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු තත්වය 146ක් වන විට සිව්වැනි කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව කඩුල්ලේ එක් වූ නායක ධනංජය ද සිල්වා සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී මැතිව්ස් ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ හත් වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ ධනංජය ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුනා.

මීට අමතරව සදීර සමරවික්‍රම විසින් ලකුණු 25කින් ඉනිමට දායකත්වය ලබා දුන්නා.

මේ අනුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 87 එක් පන්දුවක් පුරා ක්‍රියාත්මක වීමෙන් පසුව නිමාවට පත් වූ අතර, ඒ වන විට ඔවුන් ලකුණු 306ක් ලබා ගැනීමට සමත් වී තිබුණා. එංගලන්ත Lions වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Farhan Ahmed විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

මේ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා Lions කණ්ඩායමට ලකුණු 122ක ඉලක්කයක් හිමි වූ අතර, එය හඹා යමින් සිටි Lions පිතිකරුවන් ඊයේ දිනය නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වී සිටියා. Lions දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වයම ධනංජය ද සිල්වා සතු වීම විශේෂත්වයක්.

තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වන අද (17) Lions කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට නම් තවත් ලකුණු 75ක් අවශ්‍ය වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට තරගය ජයග්‍රහණය කිරීමට නම් කඩුලු 8ක් දවා ගත යුතු වනවා.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<