ගාලු ක්‍රීඩිකාවෝ මහනුවරත් පරාජය කරයි

8

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන කාන්තා වයස අවුරුදු 19න් පහළ Youth League ක්‍රිකට් තරගාවලියේ අද (13) අවසන් වූ Kandy U 19 Girls සහ Galle U 19 Girls අතර තරගයෙන් Galle කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා.  

ඒ ඔවුන් මෙවර තරගාවලියේ ලබා ගත් සිව් වැනි ජයග්‍රහණයයි. මෙම තරගයට එක් වෙන විට මෙම කණ්ඩායම් ද්විත්වය ම තරග 3ක් බැගින් ජයග්‍රහණය කරමින් සිටි අතර මෙම ජයග්‍රහණයත් සමඟින් ඉදිරියට පිවිසීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වීම කැපි පෙණුනා.

සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද දවසේ දී ද තරග 2ක් නිමා වූ අතර එහි දී පස්වරුවේ පැවැති Colombo U 19 Girls සහ Dambulla U 19 Girls කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 39ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo U 19 Girls කණ්ඩායම සමත් වුනා.

Kandy U 19 Girls සහ Galle U 19 Girls අතර තරගය

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 15ක තරගයක් බවට පරිවර්ථනය වෙමින් ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනා ගත් ගාලු කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 60ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩිකාවෝ 10 වැනි පන්දුවාරයේ දී එම ඉලක්කය සපුරා ගත්තා.

මහනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ මිතාලි අයෝද්‍යා. ඇය පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා. ඊට අමතර ව කවිශ්කා අබේරත්න ද ලකුණු 10ක් ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී ෂෙහාරා ඉඳුවරී ලකුණු 3කට කඩුලු 2ක් දවා ගත් අතර රශ්මිකා සෙව්වන්දි සහ රශ්මි නේත්‍රාංජලී කඩුල්ලක් බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාලු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 2ක දී දැවී ගිය ද ඊට පසුව කිසිම කඩුල්ලක් ලබා නොදෙමින් අදාළ ඉලක්කය පසු කිරීමට ඔවුන් සමත් වුනා.

ඒ අනුව හිරුණි හංසිකා සහ සුමුදු නිසංසලා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 51ක දී නොදැවුණ ලකුණු 59ක් තම ඉනිමට එක් කළා. එහි දී සුමුදු නිසංසලා පන්දු 29කට මුහණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද සහ හිරුණි හංසිකා පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා ගත්තා.

ගාලු ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය ප්‍රමුධි මෙත්සරා සතු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy U 19 Girls – කඩුලු 5ක් දැවී 60 (15.0) කවිශ්කා අබේරත්න 10, මිතාලි අයෝද්‍යා නොදැවී 21, ෂෙහාරා ඉඳුවරි 2/03

Galle U 19 Girls – කඩුල්ලක් දැවී 61 (9.2) හිරුණි හංසිකා නොදැවී 24, සුමුදු නිසංසලා නොදැවී 33

Galle U 19 Girls කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

Colombo U 19 Girls සහ Dambulla U 19 Girls

කාසියේ වාසිය දිනාගත් අගනුවර ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 126ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුලු ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 87ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් අගනුවර ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනියන් ලෙසින් එරන්දි වර්ණකුලසූරිය සහ දැහැමි සෙනෙත්මා දක්ෂතා දැක් වීමට සමත් වුනා.

එරන්දි වර්ණකුලසූරිය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා. ඊට අමතර ව දැහැමි සෙනෙත්මා පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගත්තා.

ඊට අමතර ව ලිහන්සා දුල්මි ද පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දුනිලි තෙන්නකෝන් කඩුලු 2ක් දවා ගනිද්දී වගීෂා ජයවර්ධන, චලනි කවීශා සහ නෙත්මි උපේක්ෂා කඩුල්ල බැගින් දවා ගත්තා.

දඹුලු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ දිනායා ගමගෙදර යි. ඇය පන්දු 37කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැති ව ලකුණු 26ක් ලබා ගත්තා. ඊට අමතර ව දනොද්‍යා සෙව්මිනි පන්දු 21ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද සහ නායිකා තරුෂි උත්පලා පන්දු 14ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ද ලෙසින් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී විශ්මි සොයිසා ලකුණු 07කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව දිනිති නාගසිංහ ලකුණු 18කට කඩුලු 2ක් ද සහ ලිමි තිලකරත්න, ඔනලි අදීශා සහ  විනුදි වීරසූරිය කඩුල්ලක් බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colombo U 19 Girls – කඩුලු 5ක් දැවී 126 (20.0) එරන්දි වර්ණකුලසූරිය 35, ලිහන්සා දුල්මි 26, දැහැමි සෙනෙත්මා නොදැවී 35, දනුලි තෙන්නකෝන් 2/19

Dambulla U 19 Girls – සියලුම දෙනා දැවී 87 (19.0) දිනායා ගමගෙදර 26, දනොද්‍යා සෙව්මිණි 15, විශ්මි සොයිසා 4/07, දිනිති නාගසිංහ 2/18

Colombo U 19 Girls කණ්ඩායමට ලකුණු 39ක ජයක්.

තරගාවලියේ තවත් තරග 2ක් හෙට (14) එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත් වෙනවා. ඒ අනුව දඹුල්ල සහ මහනුවර අතර තරගය පෙරවරුවේ ද සහ කොළඹ සහ ගාල්ල අතර තරගය පස්වරුවේ දී ද පැවැත්වීමට නියමිතයි.

U 19 Girls Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<