Major පිටියේ අලුත් ම වීරයෝ

Major Club 50 Over Tournament 2024

13
Major Club 50 Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2024 Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Ace Capital කණ්ඩායම සමත් වෙන්නේ තරගාවලියේ වීරයා මෙන් ම අවසන් මහා තරගයේ ද වීරයා සම්මාන ද දිනා ගනිමිනුයි.

ජයග්‍රාහී Ace Capital ක්‍රිකට් කණ්ඩායම සතු ව මහා ලොකු චරිත හෝ වැඩි කතා බහට ලක් වූ චරිත සිටියේ නැහැ. එසේ වූවත් ඔවුන් මෙම තරගාවලිය පුරා පෑ දක්ෂතා සුවිශේෂයි.

තරගාවලියේ ආරම්භයේ සිට තරග 7ක් දක්වා ම අපරාජිතව සිටි Ace Capital ක්‍රීඩකයෝ තරගාවලියේ දී පරාජය වෙන්නේ NCC කණ්ඩායමට පමණයි. ඒ තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේදී යි. එම පරාජයත් සමඟින් ඔවුන් තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ ප්‍රමුඛයන් ලෙසිනුයි.

ඒ වෙද්දී ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා තිබුණේ එතරම් ම සැලකිය යුතු මට්ටමේ නොවේ. කණ්ඩායමේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා නායක තනුක දාබරේ ලබා තිබුණේ තරග 7ක දී ලකුණු 221ක් පමණයි. ඊට පසුව සම්මු අශාන් ලකුණු 190ක්, සකුණ ලියනගේ ලකුණු 164ක් සහ පවන්ත වීරසිංහ ලකුණු 158ක් ලෙසයි.

කඩුලු ලබා ගැනීමේ දී වනුජ සහන් කඩුලු 15ක්, තනුක දාබරේ කඩුලු 14ක් සහ පවන්ත වීරසිංහ කඩුලු 7ක් ලෙසයි.

පළමු වටය නිමා වන විට ඔවුන් ලබා ගත් ඉනිමක වැඩිම ලකුණු ප්‍රමාණය වී තිබුණේ Tamil Union කණ්ඩායමට එරෙහිව කඩුලු 3කට ලබා ගත් ලකුණු 200යි. එහෙත් තීරණාත්මක ඉනිම් 2 දී ම ලකුණු 220ක් ඉක්මවා ලබා ගැනීමට ඔවුන් සමත් වෙන අතර පෞද්ගිලක දක්ෂතා ද ඉහළ මට්ටමක රඳවා ගැනීමට සමත් වෙනවා.

Ace Capital කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ

  ප්‍රතිවාදීන් තරගයේ විසඳුම
1 Negombo Ace Capital කණ්ඩායමට ලකුණු 22ක ජයක්.
2 SSC Ace Capital කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
3 Tamil Union Ace Capital කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
4 Chilaw Marians Ace Capital කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
5 Bloomfield Ace Capital කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
6 Panadura Ace Capital කණ්ඩායමට ලකුණු 79ක ජයක්.
7 Ragama තරගයේ විසඳූමක් නෑ.
8 NCC NCC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
අවසන් පූර්ව තරගය
9 Moors Ace Capital කණ්ඩායමට ලකුණු 98ක ජයක්.
අවසන් මහා තරගය
10 CCC Ace Capital කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

තරගාවලියේ අර්ධ අවසන් තරගයේදීත් අවසන් මහා තරගයේදීත් Ace Capital පිතිකරුවන් අතරට පිවිසීම ඔවුන්ට වඩාත් වාසිදායක වූවා. ඒ වෙද්දී අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වෙමින් සිටි ඔවුන් තරගාවලිය අවසන් කරන විට ප්‍රමුඛ ක්‍රීඩකයන් අතරේ අසුන් ගැනීමට ද සමත් වෙනවා.

ඒ අනුව පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානය සම්මු අශාන් (349), එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය තනුක දාබරේ (312) සහ 18 වැනි ස්ථානය සකුණ ලියනගේ (203) විසින් ද සහ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 2 වැනි ස්ථානය වනුජ සහන් (19) ද සහ 5 වැනි ස්ථානය තනුක දාබරේ (16) විසින් ද අත්කර ගන්නවා.

  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – තනුක දාබරේ (Ace Capital)

තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ Ace Capital කණ්ඩායමේ නායක තනුක දාබරේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගැනීමට සමත් වූනා. ඔහු තරගාවලිය අවසන් කරන්නේ තරග 9ක ඉනිම් 9ක දී ලකුණු 312ක් ලබා ගනිමින් සහ කඩුලු

දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි.

25 හැවිරිදි වියේ පසු වෙන තනුක දාබරේ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක්වීමේ දී අර්ධ ශතක 2ක් ද තරගාවලියට එක් කරනවා. ඒ Tamil Union කණ්ඩායමට සහ Bloomfield කණ්ඩායම්වලට එරෙහිවයි. මේ අතුරින් Bloomfield කණඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 73 මෙවර තරගාවලියේ ඔහුගේ හොඳම ඉනිම බවට ද පත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී ඔහු විසින් පෑ ඉහළ ම දක්ෂතාව වූයේ Negombo කණ්ඩායමට එරෙහි ව ලකුණු 28කට දවා ගත් කඩුලු 6යි. එය ඔහුගේ තරග 50ක් වන පළමු පෙළ එක්දින තරගවල හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.

  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – ක්‍රිශාන් සංජුල (SSC)

තරගාවලියේ පළමු වටය අවසන් වන විට වැඩිම ලකුණු ලබා සිටි SSC කණ්ඩායමේ ක්‍රිශාන් සංජුල තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගැනීමට සමත් වුනා. ඔහු පළමු වටය අවසන් වෙද්දී තරග 7ක දී ලකුණු 347ක් ලබා සිටි අතර ඒ වෙද්දී එහි සාමාන්‍ය ලෙසින් 69.4ක් ලෙසින් පවත්වා ගැනීමටත් ඔහු සමත් ව තිබුණා.

කෙසේ වෙතත් ඔහු තරගාවලිය අවසන් කරන්නේ තරග 8ක දී ලකුණු 388ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්‍ය 69.8ක් ලෙසින් පැවැතියා. ඔහුගේ ඉනිම් අතර NCC කණ්ඩායමට සහ Bloomfield කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද අර්ධ ශතක 2ක් ද පැවැතියා. ඒ අතුරින් Bloomfield කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 92 ඔහුගේ මෙවර තරගාවලියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් ව තිබුණා.

මේ අතර තරගාවලියේ ඉහළ දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් පෙරමුණ ගැනීමට CCC කණ්ඩායමේ පවන් රත්නායක සමත් වුනා. ඔහු ඉනිම 10ක දී ලකුණු 494ක් ලබා ගනිමින් එම අසුනට හිමිකම් කී අතර ඊට Nugegoda (100), Colts (124) සහ SSC (157*) කණ්ඩායම්වලට එරෙහි ව පිට පිට ලබා ගන්නා ලද ශතක 3ක් ද ඇතුලත්. මේ අතුරින් SSC කණ්ඩායමට එරෙහි ව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 157 ඔහුගේ 67ක් වන පළමු පෙළ එක්දින තරගවල හොඳම ඉනිම බවට ද පත් වුනා.

එමෙන් ම ඔහුගේ එම ඉනිම මෙවර තරගාවලියේ පිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා

  Player Team Mat NO Runs HS Ave 100s 50s
1 පවන් රත්නායක CCC 10 4 494 157* 82.33 3 0
2 ක්‍රිශාන් සංජුල SSC 8 2 388 92* 64.66 0 2
3 සම්මු අශාන් Ace Capital 9 4 349 97* 69.80 0 2
4 නිශාන් මධුශ්ක CCC 7 2 336 122* 67.20 1 2
5 ජනිශ්ක පෙරේරා Moors 9 0 321 97 40.12 0 3

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ඩිල්ශාන් මුණවීර (Negombo)

Negombo කණ්ඩායමේ නායක ඩිල්ශාන් මුණවීර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලබන්නේ තරගාවලියේ පළමු වටයේ තරග 8ක දී ලබා ගත් කඩුලු 16ක දක්ෂතාව හේතුවෙනුයි.

ප්‍රවේගවත් පිතිකරුවෙක් ලෙසින් වඩාත් ප්‍රචලිත 35 හැවිරිදි වියේ පසුවෙන ඩිල්ශාන් මුණවීර මෙවැනි ප්‍රධාන තරගාවලියක පන්දු යැවීමේ අංශයෙන් මෙවන් සම්මානයක් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි. ඔහු මෙවර තරගාවලියේ දී කඩුලු උපයා ගැනීමේ සාමාන්‍ය 4.72ක් ලෙසින් පවත්වා ගැනීමට සමත් වෙමින් තරගාවලිය අවසන් වෙද්දී කඩුලු දවාගත් පන්දු යවන්නන් අතුරින් තෙවැනි අසුනට හිමිකම් කීමට ද සමත් වූනා.

දකුණතින් පිට දඟ පන්දු යැවූ ඩිල්ශාන් මුණවීර Panadura කණ්ඩායමට එරෙහි ව ලකුණු 49කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ මෙවර තරගාවලියේ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා.

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත් වූයේ CCC කණ්ඩායමේ චතුරංග ද සිල්වා. ඔහු තරග 8ක දී කඩුලු 19ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කීවා. ඊට අමතර ව Ace Capital කණ්ඩායමේ වනුජ සහන් ද කඩුලු 19ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා

  Player Team Mat Overs M Runs Wkts Best 4s
1 චතුරංග ද සිල්වා CCC 8 62.5 3 223 19 4/26 2
2 වනුජ සහන් Ace Capital 9 75.5 5 248 19 4/22 2
3 ඩිල්ශාන් මුණවීර Negombo 8 50.0 1 236 16 4/49 2
4 ලසිත් ඇඹුල්දෙණිය NCC 8 66.2 4 245 16 3/27 1
5 තනුක දාබරේ Ace Capital 9 71.5 3 260 16 6/28 0

  • අවසන් මහා තරගයේ වීරයා – සම්මු අශාන් (Ace Capital)

26 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ දකුණත් පිතිකරු සම්මු අශාන් අවසන් මහා තරගයේ දී නොදැවී ක්‍රියාත්මක කළ ඉනිම තරගාවලියේ වීරයා සම්මානයට හිමිකම් කීමට සමත් වුනා. ඊට අමතර ව ඔහු එම තරගයේ දී දකුණතින් පිට දඟ පන්දු යවමින් කඩුල්ලක් දවා ගැනීමට ද සමත් වුනා.

සම්මු අශාන් නොදැවී ලබා ගත් ලකුණු 97ක ඉනිම පන්දු 111කින් සමන්විත වූ ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ද ඇතුලත් ව තිබුණා. එය තවත් ලෙසකින් වැදගත් වෙන්නේ Ace Capital කණ්ඩායම වැටී සිටි ඉතා අසීරු තත්ත්වයක දී එම ඉනිම වාර්තා කිරීමයි.

සම්මු අශාන් ගේ මෙම ඉනිම ඔහුගේ මෙවර තරගාවලියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<