අවසන් තත්පරයේ දී ඇමරිකාව අංක එකට එයි

Paris Olympics 2024

17

2024 පැරිස් ඔලිම්පික් උළෙල අද (12) අලුයම නිමාවට පත් වුනේ මෙවර ද පදක්කම් සටහනේ මුල් තැන ඇමරිකා එක්සත් ජනපදය විසින් හිමි කර ගන්නා අතරවාරයේ දීයි. 

මෙවර ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ඉසව් පැවැත්වෙන අවසන් දිනය වූ ඊයේ (11) ද ඉසව් කිහිපයක ම අවසන් තරග ක්‍රියාත්මක වූ අතර, එහි දී දිනයේ අවසන් තරගය වූ කාන්තා පැසිපන්දු අවසන් තරගයට විශේෂ අවධානයක් යොමු වුනා. 

එම තරගය ඇමරිකාවේ ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ එකක් බවට පත් වූ අතර, එය අවසන් තත්පරය දක්වා ම ඇදී ගිය උණුසුම් තරගයක් බවට ද පත් වීම විශේෂත්වයක්. 

එම තරගයේ තොරතුරු ද ඇතුළුව ඊයේ දිනය තුළ ඔලිම්පික් තරග බිමේ තතු විත්ති පහතින් දැක්වෙනවා. 

නෙදර්ලන්තයේ Sifan Hassan මැරතන් රන් පදක්කම දිනයි 

ඊයේ දිනයේ දී මෙවර ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව් නිමා කරමින් කාන්තා මැරතන් ඉසව්ව ක්‍රියාත්මක වූ අතර, මෙහි දී නව ඔලිම්පික් වාර්තාවක් සමඟ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්තයේ Sifan Hassan විසින් සමත් වුනා. මෙය ඇය විසින් මෙවර ඔලිම්පික් උළෙලේ දී ජයග්‍රහණය කළ තෙවැනි පදක්කම වූ අතර, මීට පෙර ඇය මීටර් 5000 සහ 10,000 ඉසව් ද්විත්වයේ ම ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වීමත් විශේෂත්වයක්. මෙම ඉසව්වේ රිදී පදක්කම ඉතියෝපියාවේ Tigst Asssefa ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ලෝකඩ පදක්කම කෙන්යාවට හිමි වුනා. 

මලල ක්‍රීඩා ඉසව් අවසන් 

මෙවර ඔලිම්පික් උළෙලේ ඉහළ අවධානයක් දිනා ගත් මලල ක්‍රීඩා ඉසව් ඊයේ පැවැත්වුණු කාන්තා මැරතන් ඉසව්වෙන් අවසන් වූ අතර, මෙවර ද ඇමරිකා එක්සත් ජනපදය මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 14ක් සමඟ සමස්ත පදක්කම් 34ක් ලබා ගනිමින් පෙරමුණේ රැඳීමට සමත් වුනා. ඒ අතරේ කෙන්යාව රන් පදක්කම් හතරක් සහ කැනඩාව රන් පදක්කම් ත්‍රිත්වයක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මෙවර ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩාවේ දී රන් පදක්කම් ජයග්‍රහණය කිරීමට රටවල් 22ක් සමත් වූ අතර, රටවල් 37ක් කුමන හෝ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ලොව වඩාත් තරගකාරී ම ක්‍රීඩාව මලල ක්‍රීඩා ඉසව් බව සනාථ කරමිනුයි. 

Handball  

මෙම ඉසව්වේ පිරිමි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤය සමත් වුනේ ස්ලෝවෙනියාවට එරෙහිව තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි. 

මේ අතර ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් ජර්මනිය සහ ඩෙන්මාර්කය තරග වැදුණු අතර, එහි දී ඩෙන්මාර්කය විසින් ජර්මනියට එරෙහිව ලකුණු 39-26ක් ලෙස පහසු ජයක් කරා ගියා. 

Water Polo  

පිරිමි Water Polo ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් සමත් වුනේ හංගේරියාවට එරෙහිව ගෝල 11-8ක් ලෙස ජයග්‍රහණය ලබා ගනිමිනුයි. 

මෙම ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් සර්බියාව සහ ක්‍රොඒශියාව තරග වැදුණු අතර, මෙහි දී ගෝල 13-11ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සර්බියාව විසින් සමත් වුනා. 

මල්ලව පොර වැඩි ගෞරව ජපානයට 

මල්ලව පොර ඉසව් ද ඊයේ දිනයේ දී නිමාවට පත් වූ අතර, මෙවර මෙම ඉසව්වෙන් බෙදී ගිය රන් පදක්කම් 18න් 8ක්ම ජපානය සතු වීම විශේෂත්වයක්. 

බොක්සිං වැඩි ගෞරව උස්බෙකිස්තානයට 

බොක්සිං ඉසව්වෙන් මෙවර බෙදී ගිය රන් පදක්කම් 13න් 5ක්ම උස්බෙකිස්තාන විසින් ජයග්‍රහණය කරනා අතරේ, චීනය රන් පදක්කම් ත්‍රිත්වයක් ජයග්‍රහණය කළා. 

කාන්තා පැසිපන්දු ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියාවට 

ඊයේ ඕස්ට්‍රේලියාව සහ බෙල්ජියම අතර කාන්තා පැසිපන්දු ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා පැවැත්වුණු තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව විසින් සමත් වූ අතර, එහි අවසන් ලකුණු තත්වය 85-81ක් ලෙසයි සටහන් වුනේ. 

බර ඉසිලීම චීනය ඔසවා තබයි 

ඊයේ දිනය බර ඉසිලීමේ ඉසව්වේ ද අවසන් දිනය වූ අතර, එහි තරග සියල්ල අවසන් වන විට චීනය සමස්ත රන් පදක්කම් 10න් 5ක් ජයග්‍රහණය කිරීමට සමත් වී සිටියා. 

කාන්තා වොලිබෝල් රන් පදක්කම ඉතාලියට 

මෙවර ඔලිම්පික් උළෙලේ ඇමරිකාවේ ප්‍රධාන රන් බලාපොරොත්තුවක් වූ කාන්තා වොලිබෝල් ඉසව්වේ දී ඔවුන්ට රිදී පදක්කමකින් සෑහීමට සිදු වුනා. සිය පළමු ඔලිම්පික් වොලිබෝල් අවසන් තරගයට සහභාගී වූ ඉතාලි කාන්තා කණ්ඩායම ඇමරිකාවට එරෙහිව තරග වට 3-0ක් ලෙස ඉතා පහසු ජයග්‍රහණයක් ලබමින් එහි රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වුනා. 

මේ අනුව ඊයේ සවස් වරුව වන විට මෙවර ඔලිම්පික් උළෙලේ සියලු ම තරග ඉසව් පාහේ අවසන් වී තිබූ අතර, පැවැත්වීමට ඉතිරි වී තිබුණේ කාන්තා පැසිපන්දු අවසන් මහා තරගය පමණයි. ඒ වන විට චීනය රන් පදක්කම් 40ක් ලබා ගනිමින් පදක්කම් සටහනේ පෙරමුණේ රැඳී සිටි අතර, ඇමරිකාව රන් පදක්කම් 39ක් ලබමින් දෙවැනි ස්ථානයේ රැඳුණා. කෙසේ වෙතත් ඇමරිකාව සතු සමස්ත පදක්කම් ප්‍රමාණය අනුව තවත් එක් රන් පදක්කමක් හිමි කරගත්තේ නම් පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට ඉඩක් ඉතිරි වී තිබුණා. 

එවන් වාතාවරණයක කාන්තා පැසිපන්දු ඉසව්වේ අවසන් තරගය සත්කාරක ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ක්‍රියාත්මක වූ අතර, මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා. 

මෙම තරගයේ පළමු කාර්තුවේ දී ඇමරිකාව තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුනත්, පසුව ප්‍රංශ ක්‍රීඩිකාවන් විශිෂ්ට ලෙස තරගයට අවතීර්ණ වුනා. ඒ අනුව තරගයේ තෙවැනි අර්ධය වන විට 43-45ක් දක්වා තරගයේ ලකුණු තත්වය සමීප කිරීමට ප්‍රංශය සමත් වුනා. 

තරගයේ අවසන් කාර්තුවේ අවසන් තත්පරය වන විට ඇමරිකාව ලකුණු 67ක් ලබා සිටි අතර, ප්‍රංශය ලකුණු 64ක් ලබා සිටියා. කෙසේ වෙතත් ඒ මොහොතේ ක්‍රියාත්මක වූ ප්‍රංශය ලකුණු තුනක් ඉලක්ක කරමි පන්දුව දැල තුළට යොමු කළත් ඉන් ඔවුන්ට හිමි වුනේ ලකුණු දෙකක් පමණයි. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය මෙවර ඔලිම්පික් උළෙලේ අවසන් ඉසව්ව වූ කාන්තා පැසිපන්දු ඉසව්වේ රන් පදක්කම එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

එමෙන්ම ඒත් සමඟින් ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 40ක් සමඟ සමස්ත පදක්කම් 126ක් ජයග්‍රහණය කරමින් මෙවර ඔලිම්පික් පදක්කම් සටහනේ කරමින් පළමු ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වුනා. චීනය එහි දෙවැනි ස්ථානය හිමි කර ගන්නා අතරේ, ඕස්ට්‍රේලියාව සිව්වැනි ස්ථානයට ඇද දැමූ ජපානය තෙවැනි තැනට පැමිණීමට සමත් වුනා. 

මේ අතර සත්කාරක ප්‍රංශය රන් පදක්කම් 16ක් සමඟ පදක්කම් සටහනේ පස් වැනි ස්ථානයේ නතර වුනා. 

මෙවර ඔලිම්පික් උළෙලේ සමාප්ති උළෙල ද සුපිරි තරු පිරිවරා ගනිමින් අද (12) අලුයම උත්සවාකාරයෙන් පැවැත්වුණු අතර, ඒත් සමඟම 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ නිමාව ද සනිටුහන් වුනා. 

ඒ අනුව පුරා සති දෙකකට අධික කාලයක් මුළුල්ලේ ThePapare වෙතින් ඔබ වෙත රැගෙන ආ ඔලිම්පික් තතු විත්ති ලිපි මාලාව ද අවසන් වනු ඇති. 

කෙසේ වෙතත් ඉදිරියටත් දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති සවිස්තරාත්මක ව ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<