හර්ෂිතා අයර්ලන්තය හඬවයි

Sri Lanka Women Tour of Ireland

26

විස්සය විස්ස ජාත්‍යන්තර තරග දිවියේ තම හොඳම ඉනිම මෙන් ම වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළ හර්ෂිතා සමරවික්‍රම, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) රාත්‍රියේ නිමා වූ පළමු තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මඟ පෑදුවා.  

Dublin හි Pembroke ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම අභියෝගය සපුරා ගන්නේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමින් පන්දු 20ක් ද ඉතිරි කර ගනිමිනුයිඒ අනුව ඔවුන් දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් මෙම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සමත් වුනා.  

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම:  

Laura Delany (නායිකාව), Amy Hunter (කඩුලු රකින්නිය), Gaby Lewis, Orla Prendergast, Leah Paul, Rebecca Stokell, Una Raymond-Hoey, Arlene Kelly, Ava Canning, Cara Murray, Freya Sargent. 

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම:  

අනුශ්කා සංජීවනී (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රියදර්ශනී. 

ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 8 වැනි නායිකාව වී අයර්ලන්ත නායිකාව සමඟින් කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසි අනුශ්කා සංජීවනී එහි වාසිය ලබා ගත්තා. ඒ අනුව ඇය ගේ තීරණය වූයේ පළමුවෙන් පන්දු යැවීමයි.  

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ පළමු Power Play අවස්ථාව කඩුල්ලක් ද සමඟින් ලකුණු 34කට සීමා කිරීමට ඔවුන් සමත් වුනා.  

නමුත් ඒ ආරම්භය තරගයේ පළමු අර්ධය නිමා වන විට වෙනස් කිරීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ සමත් වූවා. ඒ අනුව පළමු පන්දුවාර 10 අවසන් වෙද්දී අයර්ලන්ත ඉනිම කියැවුණේ කඩුල්ලක් දැවී ලකුණු 73ක් ලෙසයි.  

ආරම්භක පිතිකාරිනී Amy Hunter ලකුණු 17කට දැවී ගිය පසුව 2 වැනි කඩුල්ලට එක් වූ Gaby Lewis සහ Orla Prendergast එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් එක් කරමින් මේ වෙනස සිදු කළා 

එහි සබඳතාව බිඳී යන්නේ Orla Prendergast ගේ දැවී යෑමත් සමඟයි. ඇය ඉනිම හැර යන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.  

අනතුරු ව ඊට පසු පන්දුවාරයේ දී Gaby Lewis ගේ ඉනිම ද අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා. ඇය දැවී යන විට පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.  

එතැන් සිට තරගයේ ලකුණු ලබා ගැනීම මන්දගාමී කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වන්නේ පන්දු 34ක දී එකඳු හෝ සීමා ලකුණක් ලබා ගැනීමට ප්‍රතිවාදීන්ට ඉඩ ලබා නොදෙමිනුයි. එසේ වූවත් අවසන් පන්දුවාර 5 දී ලකුණු 44ක් ලබා ගැනීමට සත්කාරක ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනා.   

එහි දී නායිකා Laura Delany පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ද සහ Rebecca Stokell පන්දු 16ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 35කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගත්තා.  

නිත්‍ය නායිකාව මෙන් ම නිත්‍ය ආරම්භක පිතිකාරිනිය ද වූ චමරි අතපත්තු නොමැති වීම හේතුවෙන් මෙම තරගයේ දී ඇයගේ හිඩැස පිරවෙන්නේ හර්ෂිතා සමරවික්‍රම ගෙන්. ඇය හා එක් වෙන විශ්මි ගුණරත්න පළමු Power Play අවස්ථාවේ දී ලකුණු 50ක් ලබා ගන්නේ පන්දු වාරයකට ලකුණු සාමාන්‍ය 8.3ක් සේ පවත්වා ගනිමිනුයි.  

ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩක් ම ඔවුන් විසින් ඒ තත්ත්වය පවත්වාගෙන යන අතර පළමු කඩුල්ලට ලකුණු 83ක සබඳතාවක් ගොඩ නගනවා. එම සබඳතාව බිඳී යන්නේ විශ්මි ගුණරත්නගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගන්නවා.  

ඊට පසුව පිටියට පිවිසි කවීෂා දිල්හාරි (9) සහ අනුශ්කා සංජීවනී (12) අඩු ලකුණුවලට තම ඉනිම් අහිමි කර ගත්ත ද හර්ෂිතා සමරවික්‍රම තම කඩුල්ල මෙන් ම තම අන්තය ද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට ලකුණු එක් කිරීමේ දී වැඩි වැඩ කොටසක් ඉටු කළා.  

ඒ අනුව ඇය තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 86ක් ලබා සිටියා. මෙම ඉනිම ඇයගේ 64ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වූවා. 

ඊට පෙර ඇය ගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ 2022 වසරේ දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් තායිලන්තයට එරෙහි ව ලබා තිබූ ලකුණු 81යි.  

එමෙන් ම ඇය මෙම තරගයේ දී ලබා ගන්නේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 7 වැනි අර්ධ ශතකය වන අතර එය ඇයගේ මෙම තරග දිවියේ වේගවත් ම අර්ධ ශතකය බවට ද පත් වුවා. මේ සඳහා ඇය පන්දු 29ක් පමණක් වැය කරන ලද අතර ඊට පෙර ඇයගේ එම වාර්තාව වී තිබුණේ 2022 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී මැලේසියාවට එරෙහි ව පන්දු 36ක දී වාර්තා කරන ලද අර්ධ ශතකයයි.  

තරගය නිමා වෙන විට නිලක්ෂි සිල්වා නොදැවී ලකුණක් ලබා සිටි අතර කඩුලු දවා ගැනීමේ දී Laura Delany, Arlene Kelly සහ Freya Sargent කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 145 (20.0) Gaby Lewis 39, Orla Prendergast 29, Laura Delany 25, Rebecca Stokell නොදැවී 21, ඉනෝෂි ප්‍රියදර්ශනී 2/35 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 149 (16.4) විශ්මි ගුණරත්න 30, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 86, Laura Delany 1/16 

  • තරගයේ වීරයා – හර්ෂිතා සමරවික්‍රම (ශ්‍රී ලංකාව) 

දෙරට අතර පැවැත්වෙන 2 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය මේ මස 13 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<