ඉසිපතන සහ සාන්ත පීතර විද්‍යාල තවමත් අපරාජිතයි!

Dialog Schools Rugby League 2024

32
Dialog schools rugby league 2024

2024 Dialog පාසල් රග්බි ලීගයේ සුපිරි කණ්ඩායම් හතර තරග වදින සුපිරි තරගවටය අද (10) ආරම්භ වුනා. 

මෙහි දී ඉසිපතන විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය තවදුරටත් තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්. 

සාන්ත පීතර විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය  

(බම්බලපිටියේ දී) 

මෙම තරගයේ පළමු අර්ධයේ දී දෙපිළෙන් ම කරට කර තරගයක් නිර්මාණය වූ අතර, එහි අවසන් ප්‍රතිඵලය ලෙස ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 13ක් ලබා ගන්නා අතරේ සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී සාන්ත පිීතර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ත්‍රිත්ව ක්‍රීඩකයින් විසින් එක් උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් වුනා. 

තරගයේ පළමු අර්ධයේ දී පීතර විද්‍යාලය එක් ලකුණක් පිටුපසින් සිටියත්, දෙවැනි අර්ධය තුළ ඔවුන් එම තත්වය වෙනස් කර ගැනීමට සමත් වුනේ මෙවර තරගාවලියේ තම අපරාජිත ගමන තවදුරටත් ආරක්ෂා කර ගනිමිනුයි. 

මෙහි දී ඔවුන් විසින් තවත් ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වූ අතර, අනෙක් පසින් ත්‍රිත්ව ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 15ක් පමණයි. 

  • සාන්ත පීතර විද්‍යාලය 37 (5T, 3C, 2P) – ත්‍රිත්ව විද්‍යාලය 28 (3T, 2C, 3P) 

තරගයේ වීරයා රනිතු රිද්මල් (සාන්ත පීතර විද්‍යාලය) 

ඉසිපතන විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය  

(හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී) 

මෙවර තරගවාරයේ ක්‍රියාත්මක වූ වඩාත් තියුණු ම තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි අතර, එහි පළමු අර්ධය තුළ ඉසිපතන ක්‍රීඩකයින් ලබා ගත් ලකුණු 03 හැරුණු කොට එකඳු ලකුණක් හෝ වාර්තා වුනේ නැහැ. 

මේ නිසාම තරගයේ දෙවැනි අර්ධය තවත් තියුණු සහ උණුසුම් මුහුණුවරක් ගත් අතර, එහි දී තරගයේ පෙරමුණ ගැනීමට රාජකීය ක්‍රීඩකයින් සමත් වුනා. 

තරගය නිමා වීමට ආසන්න අවස්ථාවක් වන විට රාජකීය විද්‍යාලය ලකුණු 18ක් ලබා ගනිමින් පෙරමුණේ රැඳී සිටි අතර, ඉසිපතන විද්‍යාලය ලකුණු 16ක් ලබා ගනිමින් තරගයේ රැඳී සිටියා. 

ඒ වන විට තරගය තිබූ තත්වය අනුව රාජකීයයින් විසින් තරගය ජයග්‍රහණය කර තිබූ නමුත්, තරගය අවසන් වන විසිල් නාදය නාද වනවාත් සමඟම රාජකීය විද්‍යාලයෙන් සිදු වූ වරදක් හේතුවෙන් ඉසිපතන විද්‍යාලයට දඬුවම් පහරක් ලබා දීම විනිසුරුවරුන් විසින් තීරණය කළා. 

එහි දී ශහීඩ් සුම්‍රි විසින් එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමත් සමඟ ඉසිපතන විද්‍යාලයේ ලකුණු තත්වය 19ක් කරා ඉහළට ඇදුණු අතර, මෙතෙක් වේලා ජයග්‍රහණයේ පහස විඳිමින් සිටි රාජකීයයින්ට එක් ලකුණක තියුණු පරාජයක් උරුම වුනා. 

  • ඉසිපතන විද්‍යාලය 19 (1T, 1C, 4P) – රාජකීය විද්‍යාලය 18 (2P, 1C, 2P) 

තරගයේ වීරයා ශහීඩ් සුම්‍රි (ඉසිපතන විද්‍යාලය) 

මේ අනුව ඉසිපතන විද්‍යාලය තවදුරටත් මෙවර තරගාවලියේ තම අපරාජිත ගමන රැක ගැනීමට සමත් වී තිබෙනවා. 

එමෙන්ම තරගාවලියේ සුපිරි තරග වටයේ මීළඟ තරග ද්විත්වය ලබන සතියේ දී රාජකීය විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතරත්, ඉසිපතන විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතරත් පැවැත්වීමට නියමිතයි. 

මෙහි දී මෙතෙක් කල් තම අපරාජිත ගමන රැක ගෙන ඉදිරියට පැමිණි ඉසිපතන සහ සාන්ත පීතර විද්‍යාල අතරින් එක් විද්‍යාලයක අපරාජිත ගමන නිමා වනු ඇති අතර, මෙවර තරගවාරයේ ශූරතාව දිනා ගන්නා පාසල ද තීරණය වනු ඇති. 

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<