චමරි නැතිව ජය සොයන අයර්ලන්ත යුද්ධය

Sri Lanka Women Tour of Ireland

29
Sri Lanka Women Tour of Ireland

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන් තරග 2කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (11) Dublin හි Pembroke ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට ක්‍රීඩිකාවෝ ද්විත්ව රටවල් අතර පැවැත්වෙන තරගාවලියකට එක් වෙන පළමු අවස්ථාවයි මේ. මීට පෙර ඔවුන් අවස්ථා 3ක දී එකිනෙකා හමුවී ඇති අතර ඒ සෑම අවස්ථාවක ම ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

ඔවුන් පළමු වරට විස්සයි විස්ස තරගයක දී එකිනෙකා හමුවෙන්නේ 2010 වසරේ දී ICC Women’s Cricket T20 Challenge තරගාවලියේදීයි. එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 11ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

ඊට පසුව දෙරට ක්‍රීඩිකාවෝ එකිනෙකා හමුවෙන්නේ 2013 වසරේ දී පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදීයි. එම තරගයෙන් ද ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිවෙන අතර විසඳුම ලියැවුණේ කඩුලු 8ක ජයක් ලෙසයි.

අවසන් වරට දෙරට ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස තරගයක් සඳහා එක් වෙන්නේ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දීයි. එහි දී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 14ක ජයග්‍රහණයක් හිමි කර ගන්නවා.

කෙසේ වෙතත් අයර්ලන්තය නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී තම තරග ගමන අවසන් කරන්නේ පළමු අවසන් පූර්ව තරගය දක්වා පැමිණෙමිනුයි. එම තීරණාත්මක තරගයේ දී ඔවුන්ට ස්කොට්ලන්තය හමුවේ පරාජය වීමට සිදු වූවත් එය ඔවුන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ පැමිණි ඉහළ ම ගමන ලෙසින් ද සටහන් වූවා.

ඊට පසුවයි මේ තරග ද්විත්වය.

ශ්‍රී ලංකාව

මෙම තරග ද්විත්වයේ දී ශ්‍රී ලංකා නිත්‍ය නායිකාව වන චමරි අතපත්තු සහභාගී නොවන අතර පළමු වරට එහි නායකත්වය හර්ෂිතා සමරවික්‍රම වෙත හිමි ව තිබෙනවා. එබැවින් මෙම තරගාවලිය චමරි අතපත්තු ගෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ගමන් මඟ ගැන ලියැවෙන ඉතිහාසය තීරණය කෙරෙන තරගාවලියක් ලෙසින් මෙම තරගාවලිය හැඳින්විය හැකියි.

ඔවුන්ට ඒ වෙනුවෙන් ඇති විශ්වාසය ආසියානු ශූරියන් ලෙසින් කිරුළ පැළඳි අභිමානයයි. නිත්‍ය නායිකාව නොවූව ද ඔවුන් එම තරගාවලියෙන් ලත් පන්නරය මෙම තරගාවලියේ දී වඩාත් උපයෝගී කර ගනු ඇතැයි සිතිය හැකියි.

එම ගමනේ දී  නිත්‍ය නායිකාවගේ අඩු-පාඩුව මෙම තරගාවලියේ දී නොදැනෙන්නට නම් ඉදිරි පෙළ පිතිකාරිනියන්ගේ හොඳ එකතුවක් මෙන් ම පෙළ ගැස්මක් ද අවශ්‍ය වීම අනිවාර්යයි. නිමා වූ තරගාවලියේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව යැපුණෙ පිතිකාරිනියන් කිහිප දෙනෙක්ගෙන් පමණයි.

නමුත් මෙම තරගාවලියේ දී එවැන්නකින් පමණක් සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙන්නේ නැහැ. එබැවින් මෙහි සියලු වගකීම් නව නායිකා හර්ෂිතා සමරවික්‍රම මත පමණක් නොවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සියලු දෙනා වෙත ම හිමි වෙනවා.

මෑත කාලීන තරගවල දී ඉදිරිපෙළ හා පසු පෙළ එකිනෙකා නොපෑහෙමින් ගෙන ගිය සබඳතාවන්ට ලැබෙන ඉඩ මෙම තරගාවලියේ දී අවම කර ගත යුතුයි. අවශ්‍ය සෑම තැනක දී ම ලකුණු අතරට පිවිසීම සෑම පිතිකාරිනියකගේ ම වගකිම කර ගත යුතුයි.

පන්දු යැවීමේ දී ද එවැන්නක් ම බලාපොරොත්තු වීම වැලැක්විය නොහැකියි. වඩාත් අවශ්‍ය හොඳ ආරම්භයක් ගැනීමයි. ඊට සැලසුම් කරන්නේ නම් අයර්ලන්ත සංචාරයට එක් වූ පන්දු යවන්නියන් කිහිප දෙනා ඉහටත් උඩින් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම

හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), කාව්‍යා කාවින්දි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, ඉනෝෂි ප්‍රනාන්දු, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, කෞෂිනී නුත්‍යාංගනා.

අයර්ලන්තය

අයර්ලන්ත ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියට එක් වෙන්නේ නිමා කළ ආසන්නත ම ද්විත්ව රටවල් අතර පැවැති තරගාවලියන් 4ක දී අපරාජිතව සිටිමින්. ඔවුන් නෙදර්ලන්තයට එරෙහි ව තරග 3-0ක ජයග්‍රහණයක්, ස්කෝට්ලන්තයට එරෙහි ව තරග 1-1ක නොවිසඳුණ තරගාවලියක්, සිම්බාබ්වේට එරෙහි ව තරග 5-0ක ජයක් සහ තායිලන්තයට එරෙහි ව තරග 1-0ක ජයග්‍රහණයක් හිමිකර ගෙන තිබෙනවා.

එමෙන් ම නිමා වූ ආසන්නත ම තරග 10 දී ඔවුන් අපරාජිත බව රැක ගැනීමට ද සමත් ව තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව සමඟින් තරගයට එක් වෙන අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 31ක් වියැති තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Laura Delany වෙතයි. ඇය මේ දක්වා අයර්ලන්ත කාන්තා කණ්ඩායම 75 වතාවක් මෙහෙයවා තිබෙනවා.

ඉන් තරග 41ක් ජයග්‍රහණ කරා මෙහෙයවා ඇති ඇය තවත් තරගයක් විසඳුමකින් තොර තරගයක් ලෙසින් අවසන් කර තිබෙනවා. ඉතිරි තරග 33 විසඳී ඇත්තේ පරාජිත තරග ලෙසයි.

ඇය මේ දක්වා අයර්ලන්තය නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 108කට සහභාගී වෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 1288ක් ලබා සිටින අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 84ක්.

Laura Delany අයර්ලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 21කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 75කට ක්‍රීඩා කර ඇති Gareth Delany ගේ වැඩිමල් සහෝදරියයි.

ඇයට අමතර ව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 87ක දී ශතකයක් සහ අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 2025ක් ලබා සිටින Gaby Lewis සමඟින් විස්සයි විස්ස තරග දිවියේ ලකුණු 1000 ආසන්නයේ රැඳී සිටින Amy Hunter සහ Orla Prendergast ද මෙම කණ්ඩායමට ඇතුලත්.

එමෙන් ම පන්දු යවන්නියන් ලෙසින් දක්ෂතා දක්වන Arlene Kelly, Ava Canning සහ Cara Murray ද ශ්‍රී ලංකාවට එරෙහි පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත් කරන්නෝ ලෙසින් හැඳින්විය හැකියි.

ඒ කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් නම් කිරීමේ දී නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක් වූ Eimear Richardson, Joanna Loughran, Georgina Dempsey සහ Louise Little මෙම තරගාවලියට එක් කර නැහැ. ඔවුන් ඒ වෙනුවට නම් කරන ලද ක්‍රීඩිකාවන් අතුරින් 2019 වසරේ දී අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කළ පසු වසර 5ක් තිස්සේ ස්ථානයක් අහිමි ව සිටි Una Raymond-Hoey එක් කර තිබෙනවා.

එමෙන් ම දකුණතින් පිට දඟ පන්දු යවන Freya Sargent සහ නවක ක්‍රීඩිකාවක වන Christina Coulter Reilly ද මෙම කණ්ඩායමට එක් කර තිබෙනවා.

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් සංචිතය

Laura Delany (නායිකාව), Ava Canning, Christina Coulter Reilly, Alana Dalzell, Amy Hunter, Arlene Kelly, Gaby Lewis, Jane Maguire, Cara Murray, Leah Paul, Orla Prendergast, Una Raymond-Hoey, Freya Sargent, Rebecca Stokell.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<