රශ්මිකාගෙන් තුන් ඉරියව් දක්ෂතා

U 19 Girls Sri Lanka Youth League 2024

76
U 19 Girls Sri Lanka Youth League

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන කාන්තා වයස අවුරුදු 19න් පහළ Youth League ක්‍රිකට් තරගාවලියේ අද (10) අවසන් වූ Galle U 19 Girls කණ්ඩායම සහ Colombo U 19 Girls කණ්ඩායම අතර තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීමට ගාලු කණ්ඩායමේ නායිකාව වූ රශ්මිකා සෙව්වන්දි සමත් වූවා.  

ඒ අනුව එම තරගයෙන් ගාලු කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබූ අතර එය ඔවුන් මෙවර තරගාවලියේ පිට පිට ලත් තෙවැනි ජයග්‍රහණයයි.  

සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද දවසේ දී ද තරග 2ක් නිමා වූ අතර එහි දී පස්වරුවේ පැවැති අනෙක් තරගයෙන් Dambulla U 19 Girls කණ්ඩායම පරාජය කිරීමට Kandy U 19 Girls කණ්ඩායම සමත් වූවා.  

Galle U 19 Girls සහ Colombo U 19 Girls අතර තරගය 

කාසියේ වාසිය දිනා ගත් ගාලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 112ක් ලබා ගන්නේ නායිකා රශ්මිකා සෙව්වන්දි විසින් ලබා ගත් අර්ධ ශතකයත් ද සමඟිනුයි.  

ඇය පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා. මෙය මෙම තරගාවලියේ වාර්තා වූ 2 වැනි අර්ධ ශතකයයි.  

ඊට අමතර ව ගාලු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ සංජනා කාවින්දි. ඇය පන්දු 18ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී විශ්මි සොයිසා, ඔනලි අදීශා සහ දැහැමි සෙනෙත්මා කඩුලු 2ක් බැගින් දවා ගනිද්දී රශ්මිලා නිශාදි කඩුල්ලක් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අගනුවර ක්‍රීඩිකාවන්ගේ ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 100කට සීමා කිරීමට ගාලු ක්‍රීඩිකාවෝ සමත් වූවා.  

ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ දැහැමි සෙනෙත්මා. ඇය පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගත්තා.  

ඊට අමතර ව විශ්මි සොයිසා පන්දු 33ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී රශ්මි නේත්‍රාංජලී ලකුණු 15කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව පිතිකාරිනියක් ලෙසින් දක්ෂතා දැක් වූ රශ්මිකා සෙව්වන්දි කඩුලු 2ක් ද සහ චමෝදි මුණසිංහ කඩුල්ලක් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Galle U 19 Girls – කඩුලු 8ක් දැවී 112 (20.0) රශ්මිකා සෙව්වන්දි නොදැවී 50, දැහැමි සෙනෙත්මා 2/23, විශ්මි සොයිසා 2/11, ඔනලි අදීශා 2/20 

 

Colombo U 19 Girls – කඩුලු 8ක් දැවී 100 (20.0) විශ්මි සොයිසා 24, උමාය රත්නායක 19, දැහැමි සෙනෙත්මා නොදැවී 35, රශ්මිකා සෙව්වන්දි 2/21, රශ්මි නේත්‍රාංජලී 3/15 

 

Galle U 19 Girls කණ්ඩායමට ලකුණු 12ක ජයක්.  

Kandy U 19 Girls සහ Dambulla U 19 Girls අතර තරගය 

කාසියේ වාසිය දිනාගත් දඹුලු ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් කඩුලු 7ක් දැවී ලකුණු 113ක් ලබා ගත් අතර එම අභියෝගය තවත් පන්දුවක් සහ කඩුලු 6ක් අතැතිව සපුරා ගැනීමට මහනුවර ක්‍රීඩිකාවෝ සමත් වූවා.  

දඹුලු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී ශයනි තෙන්නකෝන් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.  

ඊට අමතර ව ඉනිම අවසන් වෙද්දී දනෝද්‍යා සෙව්මිනි පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී අසෙනි තලගුනේ ලකුණු 5කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව කවිශ්කා අබේරත්න, නිරාශා ගිම්හානි සහ දරණි දිසානායක කඩුල්ල බැගින් දවා ගත්තා. 

මහනුවර කණ්ඩායමේ පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී සඳුනි බෝලවත්ත. ඇය පන්දු  46කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.  

ඊට අමතර ව කවිශ්කා අබේරත්න පන්දු 26ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වූවා.  

කඩුලු දවා ගැනීමේ දී දනෝද්‍යා සෙව්මිණි, චලනි කවීශා, දනුලි තෙන්නකෝන් සහ වගීශා ජයවර්ධන කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Dambulla U 19 Girls – කඩුලු 7ක් දැවී 113 (20.0) ශයනි තෙන්නකෝන් 30, දනෝද්‍යා සෙව්මිණි නොදැවී 24, අසෙනි තලගු‍නේ 2/05 

 

Kandy U 19 Girls – කඩුලු 4ක් දැවී 114 (19.5) සඳුනි බෝලවත්ත 33, කවිශ්කා අබේරත්න නොදැවී 23, දනෝද්‍යා සෙව්මිනි 1/14 

 

Kandy U 19 Girls කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  

තරගාවලියේ තවත් තරග 2ක් හෙට (11) එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත් වෙනවා. ඒ අනුව මහනුවර සහ කොළඹ අතර තරගය පෙරවරුවේ ද සහ ගාල්ල සහ දඹුල්ල අතර තරගය පස්වරුවේ දී ද පැවැත්වීමට නියමිතයි.  

U 19 Girls Sri Lanka Youth League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<