ඔලිම්පික් වාර්තාවක් සමඟ පාකිස්තානයට ඓතිහාසික ‍රන් පදක්කමක්

Paris Olympics 2024

155
Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් 13 වැනි දිනය නිමා වන විට තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ රැක ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් සමත් වී සිටියා.

මේ වන විට ඇමරිකාව රන් පදක්කම් 30ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, චීනය ඔවුන්ට එක් රන් පදක්කමක් පිටුපසිනුයි රැඳෙන්නේ.

ඊයේ (08) දිනය තුළ ද අවසන් තරග රැසක් පැවැත්වුණු අතර, ඒ අතුරින් මලල ක්‍රීඩා ඉසව් වෙත වැඩි අවධානයක් යොමු වුනා. මෙහි දී නව ලෝක වාර්තාවක් මෙන්ම ඔලිම්පික් වාර්තාවක් ද බිහි වීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ ඔලිම්පික් තරග සාරාංශය මෙසේයි;

කාන්තා මැරතන් පිහිනුම් ඉසව්වේ ජය නෙදර්ලන්තයට

කිලෝමීටර් 10 කාන්තා මැරතන් පිහිනුම් ඉසව්ව ඊයේ උදෑසන වරුවේ පැවැත්වුණු අතර එහි ජයග්‍රහණය නෙදර්ලන්තයේ Sharon van Rouwendaal හට හිමි වූ අතර, එහි රිදී පදක්කම ඕස්ට්‍රේලියාවටත්, ලෝකඩ පදක්කම ඉතාලියටත් හිමි වුනා.

පිරිමි හොකී ලෝකඩ පදක්කම ඉන්දියාවට

පිරිමි හොකී ඉසව්වේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වූ අතර, මෙහි දී ඔවුන් විසින් ස්පාඤ්ඤයට එරෙහිව ගෝල 2-1ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

පිරිමි පාපන්දු ලෝකඩ පදක්කම මොරොක්කෝවට

මේ අතර ඊජිප්තුවට එරෙහිව ගෝල 6-0ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට මොරොක්කෝව විසින් සමත් වූ අතර, ඒ අනුව ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට මොරොක්කෝවට හැකියාව ලැබුණා.

පිරිමි හොකී රන් පදක්කම

පිරිමි හොකී ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් ජර්මනිය සහ නෙදර්ලන්තය තරග වැදුණා.

මෙහි දී දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයා තේරීමට සිදු වූ අතර, දඬුවම් පහර 3-1ක් ලෙස සාර්ථක කරගැනීමට සමත් වූ නෙදර්ලන්තය රන් පදක්කම වෙත පියමැන්නා.

මේසපන්දු කණ්ඩායම් තරග තොරතුරු

මේස පන්දු පිරිමි කණ්ඩායම් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජපානය පරාජය කළ ස්වීඩනය සහ ප්‍රංශය පරාජය කළ චීනයට හැකියාව ලැබුණා.

මේ අතරම කාන්තා කණ්ඩායම් ඉසව්වේ දී කොරියාව පරාජය කළ චීනය සහ ජර්මනිය පරාජය කළ ජපානය අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

කාන්තා වොලිබෝල් අවසන් තරගය තහවුරුයි

කාන්තා වොලිබෝල් අවසන් පූර්ව වටයේ දී බ්‍රසීලයට එරෙහිව තරග වට 3-2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වූ අතර, අනෙක් අවසන් පූර්ව තරගයෙන් තුර්කිය පරාජය කළ ඉතාලිය අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

කාන්තා Handball අවසන් තරගයත් ස්ථිරයි

මෙම ඉසව්වේ කාන්තා අවසන් පූර්ව තරග ඊයේ ක්‍රියාත්මක වූ අතර එහි දී ස්වීඩනය පරාජය කළ ප්‍රංශය සහ ඩෙන්මාර්කය පරාජය කළ නෝර්වේ දේශය අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

ප්‍රංශය පැසිපන්දු අවසන් තරගයට

මෙම ඉසව්වේ පිරිමි අවසන් පූර්ව තරගවල දී ජර්මනියට එරෙහිව ලකුණු 73-69ක් ලෙස තියුණු ජයක් ලද ප්‍රංශය සහ සර්බියාව පරාජය කළ ඇමරිකා එක්සත් ජනපදය රන් සටන වෙනුවෙන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

කාන්තා Water Polo අවසන් තරගයට ඕස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය

ඊයේ පැවැත්වුණු Water Polo අවසන් පූර්ව තරගවල දී ඇමරිකාව පරාජය කල ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය පරාජය කළ ස්පාඤ්ඤය කාන්තා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්ත.

Beach Volleyball අවසන් පූර්ව තරග තොරතුරු

Beach Volleyball කාන්තා සහ පිරිමි අවසන් පූර්ව තරග ඊයේ දිනයේ ක්‍රියාත්මක වුනා.

මෙහි දී කාන්තා අවසන් පූර්ව තරගවල දී ස්විට්සර්ලන්තය පරාජය කළ කැනඩාව සහ ඕස්ට්‍රේලියාව පරාජය කළ බ්‍රසීලයත්, පිරිමි අවසන් පූර්ව තරගවල දී නෝර්වේ දේශය පරාජය කළ ජර්මනිය සහ කටාරය පරාජය කළ ස්වීඩනයත් අවසන් මහා තරගයේ දොර විවර කරගත්තා.

ජැමෙයිකාව අතුරුදන් වෙයි?

ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව් කෙමෙන් අවසානය කරා ළඟා වන බව ඉඟි කරමින් සහය දිවීමේ ඉසව්වල මූලික වටයේ තරග ඊයේ ආරම්භ වුනා.

ඊයේ දිනයේ දී කාන්තා සහ පිරිමි මීටර් 100×4 ඉසව්වල මූලික වටයේ තරග ක්‍රියාත්මක වූ අතර, මෙහි දී පිරිමි ඉසව්වේ හොඳම කාලය වාර්තා කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සමත් වුනා. කෙසේ වෙතත් මෙම ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ ජැමෙයිකාවට හිමි වුනේ සිව්වැනි ස්ථානය වූ අතර, එය ඔවුන්ට අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ.

එමෙන්ම මෙම ඉසව්වේ කාන්තා දෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ ජැමෙයිකානු කණ්ඩායමට ද තෙවැනි ස්ථානයෙන් සෑහීමට සිදු වුනා. ඔවුන් තරගයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා වුවත් මෙවර ඔලිම්පික් උළෙලේ දී ජැමෙයිකානු කෙටිදුර ආධිපත්‍යය දරුණු බිඳවැටීමකට ලක් වී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

Kipyegon සහ Tsegay සටන තියුණු වෙයි

කාන්තා මීටර් 1500 ඉසව්වේ අවසන් පූර්ව තරග ද ඊයේ දිනයේ දී ක්‍රියාත්මක වූ අතර, මෙහි දී මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමි කම් කියන කෙන්යාවේ Faith Kipyegon මෙන්ම ඇයට එල්ල වන ප්‍රබලතම අභියෝගය ලෙස සැලකිය හැකි ඉතියෝපියාවේ Gudaf Tsegay ද පහසුවෙන් ම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනේ තරගයේ ස්වභාවය තවත් තියුණු කරවමිනුයි.

Tara Davis දුර පැනීමේ රන් දිනයි

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා දුර පැනීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට පෙරමුණේ රැඳී සිටි ඇමරිකාවේ Tara Davis Woodhall මීටර් 7.10ක දුරක් තරණය කරමින් ඉතා පහසුවෙන් ම රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. සම්පූර්ණ තරගය පුරාම ඇය මීටර් 7 සීමාව ආසන්නයේ රැඳීමට සමත් වීම විශේෂත්වයක්.

ටෝකියෝ ශුරයා මෙවර අසාර්ථකයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 110 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ ජැමෙයිකාවේ Hansle Parchment හට මෙවර ඉසව්වේ දී හිමි වුනේ 08 වැනි ස්ථානය වන අතර, ඉසව්වේ ජයග්‍රහණය බොහෝ දෙනා බලාපොරොත්තු වූ අයුරින් ම ඇමරිකාවේ Grant Holloway සතු වුනා.

Neeraj Chopra නොසිතූ පරාජයකට මුහුණ දෙයි

මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් ඉන්දියාව තබා තිබූ ප්‍රධානතම රන් පදක්කම් බලාපොරොත්තුව වූ හෙල්ල විසිකිරීමේ ශූර Neeraj Chopra හට ඊයේ දිනයේ රිදී පදක්කමි සෑහීමකට පත් වීමට සිදු වුනා.

මෙහි දී ඉන්දියාවේ රන් බලාපොරොත්තුව බොඳ කිරීමේ වගකීම බාර ගත් පාකිස්තානයේ Arshad Nadeem විසින් නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන් පදක්කම වෙත යාමට සමත් වීම විශේෂත්වයක්.

මෙහි දී ඔහු සිය දෙවැනි උත්සාහයෙන් මීටර් 92.97ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වූ අතර, මෙය ලෝක ඉතිහාසයේ හය වැනි හොඳම දුර ලෙස ද සටහන් වුනා. එමෙන්ම වසර දෙකක කාලයක් තුළ මෙම ඉසව්වෙන් වාර්තා වූ හොඳම දුර ලෙස ද මෙය වාර්තා අතරට එක් වුනා.

මෙය පාකිස්තානය විසින් මලල ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කළ පළමු ඔලිම්පික් පදක්කම ලෙස ද, ගෙවුණු වසර 32ක කාලය තුළ පාකිස්තානයට හිමි වූ එකම ඔලිම්පික් පදක්කම ලෙස ද වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

Lylesගේ රන් පදක්කම Tebogo ඩැහැ ගනී!

ඊයේ දිනයේ ඉහළ අවධානයක් යොමු වූ පිරිමි මීටර් 200 ඉසව්වේ දී ලෝක ශූර Noah Lyles අබිබවා ගිය බොස්ට්වානා දේශයේ Letsile Tebogo විසින් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙහි දී Tebogo විසින් තත්පර 19.46ක කාලයක් සමඟ ඉසව්ව ජයග්‍රහණය කරද්දී, ඇමරිකාවේ Kenneth Bednarek හට දෙවැනි ස්ථානය හිමි වුනා. එමෙන්ම Lyles හට ඉසව්වේ දී උරුම වුනේ තෙවැනි ස්ථානය වීම විශේෂත්වයක්.

Sydneyගේ පුරුද්ද ඉදිරියටත්

කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ වත්මන් ලෝක වාර්තාව නැවත වරක් අලුත් කිරීමට ඇමරිකාවේ Sydney McLaughlin-Levrone විසින් ඊයේ සමත් වුනා. 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙ දී ද නව ලෝක වාර්තාවක් සමඟ ඉසව්ව ජයග්‍රහණය කළ ඇය, පසු කාලීන ව එම ලෝක වාර්තාව නැවත නැවතත් වෙනස් කළා. මෙවර ඇය විසින් නැවතත් සිය පුරුද්ද ඉදිරියට රැගෙන යමින් තත්පර 50.37ක් ලෙස ඉසව්වේ ලෝක වාර්තාව නැවත වරක් අලුත් කිරීමට සමත් වුනා. මෙම ඉසව්වේ Sydneyගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වෙතැයි අනුමාන කළ නෙදර්ලන්තයේ Femke Bol හට ඊයේ දිනයේ සිය සුපුරුදු දක්ෂතා කරා ළඟා වීමට නොහැකි වූ අතර ඇයට ලෝකඩ පදක්කමකින් සෑහීමකට පත් වීමට සිදු වුනා.

ඊයේ දිනයට නියමිත වූ ඔලිම්පික් තරග ඉසව්වල සාරාංශය ඒ අයුරින් වන අතර, අද (09)දිනයේ ද ඉසව් රැසක අවසන් තරග ක්‍රියාත්මක වීමට නියමිතයි.

එම තරග සියල්ලේ ද ඇතුළුව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<