වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා එක්දින තරගාවලි ජයක් ලබයි

India Tour of Sri Lanka 2024

4
India Tour of Sri Lanka 2024

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද (07) සමත් වුනා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද දහවල් ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, එය ඔහු මෙම එක්දින තරගාවලියේ දී නොකඩවා කාසියේ වාසිය ජයග්‍රහණය කළ තෙවන තරගය ද වුනා. මෙහි දී චරිත් සුපුරුදු පරිදි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් ලකුණු 89ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී පැතුම් නිස්සංක විසින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වූ අතර, පැතුම් පිටියෙන් ඉවත් වීමෙන් පසු අවිශ්ක සමඟ කඩුල්ලේ එක් වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක් එක් කිරීමට සමත් වුනා.

මෙහි දී ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු පිටියෙන් ඉවත් කිරීමට Riyan Parag විසින් සමත් වූ අතර, අවිශ්ක විසින් පන්දු 102ක් තුළ ලකුණු 96ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් දෙවැනි කඩුල්ලෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම තරමක බිඳ වැටීමට ලක් වුනා.

එක් වරම ශ්‍රී ලංකා ඉනිම කඩුලු 6කට ලකුණු 199ක් ලෙස දිස් වූ අතර, මේ මොහොතේ කඩුල්ලේ එක් වූ කුසල් සහ කමිඳු මෙන්ඩිස් යුගලය හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී කමිඳු විසින් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වූ අතර, වටිනා ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් විසින් ලකුණු 59ක් ලබාගැනීමට සමත් වුනා.

මේ අනුව නියමිත පන්දුවාර 50 තුළ ශ්‍රී ලංකාව විසින් කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ඉන්දියාව වෙනුවෙන් තම මංගල එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ Riyan Parag කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 249ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් ඉන්දීය නායක Rohit Sharma සහ Shubman Gill පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් ඉක්මන් ලකුණු 37ක් එක් කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් අසිත ප්‍රනාන්දු විසින් Shubman Gill දවා ගැනීමත් සමඟ ඉන්දීය ඉනිමේ කඩුලු බිඳ වැටීම ආරම්භ වුනා.

එතැන් පටන් ඉන්දීය කණ්ඩායමට මෙම තරගයේ පරාජයෙන් ගැලවීමට කිසිදු අන්දමක ඉඩක් හිමි නොවූ අතර, ඉන්දීය ඉනිම ලකුණු 138කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ඉන්දීය ඉනිම නිමා කිරීමට ශ්‍රී ලංකාවට වැය වුනේ පන්දුවාර 26ක් සහ එක් පන්දුවක් පමණයි. මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු 5ක් බිඳ හෙළනා අතරේ, මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්‍රි වැන්ඩසේ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඉන්දීය ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ නායක Rohit Sharma විසින් ලකුණු 35ක් ලබා ගත් අතර, Washington Sundar ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 110ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූ අතර, තරගාවලිය ද තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මාන අවිශ්ක ප්‍රනාන්දු විසින් දිනා ගන්නා අතරේ, තරගාවලියේ වීරයා බවට පත් වීමට දුනිත් වෙල්ලාලගේට හැකියාව ලැබුණා.

එමෙන්ම මෙසේ ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ වසර 27කට පසුව වීමත් විශේෂත්වයක්.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<