සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල අගෝස්තු 21 සිට

Samaposha Provincial Sport Games 2024

5
Samaposha Provincial Sport Games 2024

සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල එළඹෙන අගෝස්තු 21 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි.

CBL සමපෝෂ සවිබල ගැන්වීම සමඟ පළාත් අධ්‍යාපන කාර්යාල යටතේ සංවිධානය වන මෙම ක්‍රීඩා උළෙල දිවයිනේ පළාත් පහක පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දිවයිනේ පාසල් 2000 කට අධික ප්‍රමාණයක් සහභාගී වන මෙම ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාව 18000කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර, මෙහි දී ක්‍රීඩා ඉසව් 70කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (06) පැවැත්වුණා.

මෙහි දී මෙම ක්‍රීඩා උළෙල මගින් පාසල් දරුවන්ගේ ක්‍රීඩා දක්ශතාවන් වැඩිදියුණු කර ගැනීමට මෙන්ම, ඔවුන්ගේ මානසික සුවය ප්‍රවර්ධනය කිරීමටත් CBL සමපෝෂ ආයතනය විසින් ලබා දෙන සහයෝගය පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) අතුල විජේවර්ධන මහතා සඳහන් කළා.

මේ අතර මේ පිළිබඳ ව අදහස් දැක්වූ CBL ආහාර අංශයේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරි මංජුල දහනායක මහතා මෙසේ සිය අදහස් පළ කළා.

“CBL සමාගම සෑම විටම ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ ක්‍රීඩා හා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇප කැප වෙමින් අනාගතය වෙනුවෙන් දක්ෂතාවයන් සහිත දරු පරපුරක් බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගමක්. ඒ සඳහා CBL සමාගමේ ආහාර අංශය සමපෝෂ වෙළඳ නාමය යටතේ විශාල වැඩ කොටසක ක්‍රියාත්මක කර ගෙ යන අතර, මෙය එහි තවත් පුළුල් පියවරක්.

එමෙන්ම ක්‍රීඩාව මගින් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විනය, කණ්ඩායම් හැඟීම, ඉවසීම, නායකත්ව ගුණාංග වැනි අංශ රැසක් දියුණුවට පත් වන බවත් ඔහු විසින් මෙහි දී අවධාරණය කලා.

එමෙන්ම “දිනන දරුවෝ” තේමාව යටතේ මෙවැනි ක්‍රීඩා උළෙල සංවිධානය කරමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට රැගෙන යාමට දායක වීමට හැකි වීම පිළිබඳව CBL ආහාර අංශයේ කළමනාකරු වී.පී ගෝවින්න මහතා ද මෙහි දී විස්තර සඳහන් කළා.

මීට අමතරව එක් එක් පළාත්වලට අදාළ ව අධ්‍යාපන නිළදාරීන් ද මෙහි වටිනාකම අවධාරණය කළා.

ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත පළාත් සහ ස්ථාන

  • ඌව පළාත – බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී – අගෝස්තු 21– 24 දක්වා
  • දකුණු පළාත- මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී – අගෝස්තු 27 – 30 දක්වා
  • නැගෙනහිර පළාත – මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ දී – සැප්තැම්බර් 05– 09 දක්වා
  • වයඹ පළාත – කුරුනෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී – සැප්තැම්බර් 07– 11 දක්වා
  • උතුරු මැද පළාත – අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී – සැප්තැම්බර් 10– 13 දක්වා

මෙම ක්‍රීඩා උළෙල පිළිබඳ තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<