රිටි පැනීමේ ශූරයාට තවත් ලෝක වාර්තාවක්!

Paris Olympics 2024

9
Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් 10 වැනි දිනය නිමා වන විට පදක්කම් සටහනේ පෙරමුණ රැක ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් සමත් වී සිටියා.

ඊයේ (05) දිනය පුරාවට වරින් වර විචලනය වෙමින් පැවති මෙම පදක්කම සටහනේ රන් පදක්කම් 21 බැගින් ජයග්‍රහණය කිරීමට චීනය සහ ඇමරිකාව සමත් වී සිටියත් රිදී පදක්කම් සංඛ්‍යාව අනුව ඇමරිකාව පෙරමුණේ පසුවනවා.

ඊයේ දිනයට තුළ ද විශේෂ ක්‍රීඩා ඉසව් කිහිපයක්ම පැවැත්වුණු අතර, ඒවායේ තරග විස්තර සැකවින් මෙසේයි;

කොරියාවට බැඩ්මින්ටන් රන් පදක්කමක්

ඊයේ දිනයේ දී කාන්තා බැඩ්මින්ටන් කේවල ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට දකුණු කොරියාවට හැකියාව ලැබුණු අතර, එහි රිදී පදක්කම චීනයට හිමි වුනා.

ජිම්නාස්ටික් ඉසව් අවසන් වෙයි

ඊයේ දිනයෙන් ජිම්නාස්ටික් ඉසව් සියල්ල නිමා වූ අතර, මෙහි දී පිරිමි Parallel Bar ඉසව්ව ජයග්‍රහණය කිරීමට චීනයට හැකියාව ලැබුණා. මේ අතර කාන්තා Balance beam ඉසව්වේ ජයග්‍රහණය ඉතාලියේ Alice D’Amato විසින් ජයග්‍රහණය කළ අතර, මෙම ඉසව්වට රන් පදක්කමක් බලාපොරොත්තුවෙන් සහභාගී වූ ඇමරිකා එක්සත් ජනපදයේ Simone Biles හට පදක්කමක් කරා යාමට නොහැකි වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් කාන්තා Floor exercise ඉසව්වේ දී ඇය විසින් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙය ඇයගේ 11 වැනි ඔලිම්පික් පදක්කම වූ අතර, මෙවර ඔලිම්පික් උළෙලේ දී ඇය විසින් ජයග්‍රහණය කළ සිව්වැනි පදක්කම ලෙස ද මෙය වාර්තා වුනා. මේත් සමඟින් ම Simone Bilesගේ ඔලිම්පික් ගමන් මග නිමා වේ යැයි බොහෝ දුරට අනුමාන කළ හැකි. මේ වන විට ඇය විසින් ඔලිම්පික් රන් පදක්කම් 7ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, ඉන් ත්‍රිත්වයක් ම මෙවර ඔලිම්පික් උළෙලේ දී ජයග්‍රහණය කිරීමට ඇයට හැකි වුනා.

මේ අතර පිරිමි Horizontal Bar ඉසව්වේ රන් පදක්කම ජපානයට හිමි වුනා.

බ්‍රසීලයේ සාර්ථකම ඔලිම්පික් ක්‍රීඩිකාව

කාන්තා ජිම්නාස්ටික් Floor Exercise ඉසව්වේ රන් පදක්කම Simone Bilesට අහිමි වීමේ ප්‍රධානතම හේතුව වූ බ්‍රසීලයේ Rebeca Andrade විසින් එම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙය ඇය විසින් ජයග්‍රහණය කළ හය වැනි ඔලිම්පික් පදක්කම වූ අතර, ඒ අතරට එක් වූ දෙවැනි රන් පදක්කම මෙය ලෙස සටහන් වුනා. ඒ අනුව බ්‍රසීල ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් ලබා ගත් ක්‍රීඩිකාව ලෙස ද Andrade වාර්තා අතරට එක් වුනා.

පිරිමි පාපන්දු අවසන් තරගය තහවුරුයි

ස්පාඤ්ඤය සහ මොරොක්කොව අතර පැවැත්වුණු පාපන්දු අවසන් පූර්ව තරගය ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් වුනා. තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට මොරොක්කෝව සමත් වුනත් ස්පාඤ්ඤය පසුව තරගයට සාර්ථකව අවතීර්ණ වුනා.

මේ අතර ප්‍රංශය සහ ඊජිප්තුව අතර පැවැත්වුණු අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කිරීමට ප්‍රංශය විසින් සමත් වූ අතර, එම තරගය ද පෙර තරගය ලෙසමයි ක්‍රියාත්මක වුනේ. තරගයේ පළමු ගෝලය ඊජිප්තුව විසින් වාර්තා කරමින් වැඩි වාසි ලබා ගත්ත ද පසුව ප්‍රංශය තරගය අවතීර්ණ වෙමින් ගෝල 3-1ක් ලෙස තරගය නිමා කිරීමට සමත් වුනා.

ඩෙන්මාර්කය තායිලන්තය අබිබවා යයි

පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වේ දී තායිලන්ත ක්‍රීඩකයාට එරෙහිව ඉතා පහසු ජයග්‍රහණයක් ලබා ගත් ඩෙන්මාර්කයේ Viktor Axelsen ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පැසිපන්දු ජයග්‍රහණ ජර්මනියට සහ නෙදර්ලන්තයට

3×3 පැසිපන්දු කාන්තා ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ජර්මනිය විසින් සමත් වූ අතර, එහි රිදී පදක්කම ස්පාඤ්ඤයට හිමි වුනා.

එමෙන්ම මෙම ඉසව්වේ පිරිමි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්තය විසින් සමත් වුනේ ප්‍රංශයට එරෙහිව ලකුණු 18-17ක් ලෙස තියුණු ජයක් ලබා ගනිමිනුයි.

Valarie Allman තම රන් පදක්කම රැක ගනී

කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ 2021 ටෝකියෝ ඔලිම්පික් ශූරිය වූ ඇමරිකා එක්සත් ජනපදයේ Valarie Allman විසින් නැවතත් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එහි රිදී පදක්කම චීනයටත්, ලෝකඩ පදක්කම ක්‍රොඒශියාවටත් හිමි වුනා.

ලෝක වාර්තාවේ හිමිකාරියට පදක්කම අහිමි වෙයි

ඊයේ දිනයේ දී කාන්තා මීටර් 5000 ඉසව්වේ අවසන් තරගය ක්‍රියාත්මක වූ අතර, එම ඉසව්වේ ජයග්‍රහණය කෙන්යාවේ Beatrice Chebet හට හිමි වුනා.

මෙහි රිදී පදක්කම කෙන්යාවේ Faith Kipyegon විසින් ජයග්‍රහණය කළත් ඊට මොහොතකට පසුව ඇය තරගයේ නීති උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන් ඇයගේ රිදී පදක්කම තෙවැනි ස්ථානය හිමි වූ නෙදර්ලන්තයේ Sifan Hassan හට ලබා දුන්නා.

මෙම තරගය අතරතුර Faith Kipyegon සහ මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඉතියෝපියාවේ Gudaf Tsegay අතර යම් ගැටීමක් සිදු වූ අතර, මේ හේතුවෙන් Kipyegon හට රිදී පදක්කම අහිමි වූ බව අනුමාන කළ හැකි.

නමුත් එම සිදුවීමෙන් පසුව Faith Kipyegon විසින් තම රිදී පදක්කම වෙනුවෙන් නැවතත් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එය අනුමත වීම නිසා ඇයට ඉසව්වේ රිදී පදක්කම ලැබෙන බව තහවුරු වුනා.

මේ අතර මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන Tsegay හට හිමි වුනේ ඉසව්වේ 08 වැනි ස්ථානයයි.

Keely Hodgkingson රන් දිනයි

මේ අතර කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ මහා බ්‍රිතාන්‍යයේ Keely Hodgkingson ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙය ඇය විසින් වසර ගණනාවක සිට බලාපොරොත්තු තබා සිටි ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දිය හැකි.

Mondo Duplantis නැවතත් ලෝක වාර්තාව අලුත් කරයි

ඊයේ රාත්‍රියේ වැඩිම අවධානයක් හිමි වූ ඔලිම්පික් ඉසව්ව ලෙස අවිවාදිත ව හඳුන්වා දිය හැකි පිරිමි රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම ස්වීඩනයේ Mondo Duplantis විසින් හිමි කරගත්තා. එහි රිදී පදක්කම ඇමරිකාවේ Sam Kendricks විසින් ජයග්‍රහණය කරනා අතරේ ලෝකඩ පදක්කම ග්‍රීසියේ Emmanouil Karalis හට හිමි වුනා.

ඉසව්වේ රන් පදක්කම තහවුරු වීමෙන් පසුව Duplantis විසින් මීටර් 6.10ක උසක් තරණය කරමින් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, ඉන් පසුව ඔහු මීටර් 6.25ක් දක්වා තමන්ගේ මීළඟ උස ඉහළ දැමීමට තීරණය කළේ නව ලෝල වාර්තාවක් වෙත යෑමේ අරමුණිනුයි.

කෙසේ වෙතත් ඒ සඳහා ඔහුගේ පළමු උත්සායන් ද්විත්වයම අසාර්ථක වුනා. නමුත් තමන් මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ට රිටි පැනීමේ ශූරයා බව සනාථ කළ Duplantis විසින් තම අවසන් අවස්ථාවේ දී මීටර් 6.25ක උස තරණය කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

ඊයේ දිනයට නියමිත වූ තරග මෙසේ අවසන් වූ අතර අද (06) රාත්‍රිය ශ්‍රී ලංකාවට ඉතා විශේෂ එකක් බවත් නැවතත් මතක් කළ යුතුමයි.

අද රාත්‍රියේ ශ්‍රී ලංකා වෙලාවෙන් 11.12ට අරුණ දර්ශන පිරිමි මීටර් 400 දෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගී වීමට සූදානමින් පසු වනවා.

එම තරගය ද ඇතුළුව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<