මලල ක්‍රීඩාවේ ලෝක වාර්තා අලුත් වීම ආරම්භ වෙයි!

Paris Olympics 2024

64

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ හත් වැනි දිනය නිමා වන විට තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණ රැක ගැනීමට චීනයට හැකියාව ලැබී තිබුණා. 

පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය සත්කාරක ප්‍රංශය සතු වෙද්දී, ඕස්ට්‍රේලියාව තෙවැනි තැනට පත් වුනේ ප්‍රබල ඇමරිකාව සිව් වැනි තැන දක්වා ඇද දමමිනුයි. 

ඊයේ (02) දිනයේ ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව් කිහිපයක මූලික වටයේ තරග පැවැත්වීම නිසා ඔලිම්පික් උළෙලට පෙර තිබුණාටත් වඩා වැඩි ආකර්ෂණයක් හිමි වූ බවත් වටහා ගත හැකි. 

මොරොක්කෝව නැවතත් අවසන් පූර්ව වටයට 

2022 FIFA ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූ මොරොක්කෝ කණ්ඩායම නැවතත් වරක් ජාත්‍යන්තර පාපන්දු පිටියට නැවුම් මාතෘකාවක් බවට පත් වෙමින් ඊයේ දිනයේ දී ඔලිම්පික් පාපන්දු අර්ධ අවසන් පූර්ව වටයේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වුණු තරගය ගෝල 4-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මීට අමතරව ස්පාඤ්ඤය විසින් ජපානයත්, ඊජිප්තුව විසින් පැරගුවේ දේශයත් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතරේ, වැඩි අවධානයක් යොමු වූ ප්‍රංශය සහ ආජන්ටිනාව අතර තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ප්‍රංශ කණ්ඩායම විසින් සමත් වුනා. 

මේ අනුව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී මොරොක්කොව, ස්පාඤ්ඤය සමඟත් ඊජිප්තුව, ප්‍රංශය සමඟත් තරග වදිනු ඇති. 

Djokovic සහ Alcaraz ටෙනිස් අවසන් තරගයට 

වත්මන් ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි අංක දෙක සහ තුන ස්ථානවල රැඳෙනා සර්බියාවේ Novak Djokovic සහ ස්පාඤ්ඤයේ Carlos Alcaraz ඊයේ දිනයේ දී පිරිමි කේවල ටෙනිස් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. ඒ අනුව තවත් ජාත්‍යන්තරයේ අවධානය වැඩි වශයෙන් හිමි වන තියුණු ටෙනිස් තරගයක් ඉදිරියේ දී ක්‍රියාත්මක වනු ඇති. 

මේ අතර ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන පෝලන්තයේ Iga Swiatek ඊයේ දිනයේ දී ඔලිම්පික් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

Leon Marchand සිව් වැනි රන් පදක්කමත් දිනයි 

ඊයේ දිනයේ පැවැත්වුණු තරග අතුරින් වඩාත් ඉහළ අවධානයක් යොමු වූ තරග ඉසව්වක් වූ පිහිනුම් ඉසව්ව නියෝජනය කළ සත්කාරක ප්‍රංශයේ Leon Marchand මෙවර ඔලිම්පික් උළෙලේ සිය සිව් වැනි රන් පදක්කමත් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

පිරිමි මීටර් 200 මිශ්‍ර ආර ඉසව්ව නියෝජනය කළ Leon විසින් ඊයේ දිනයේ නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඒ අනුව ප්‍රංශය මෙතෙක් ඔලිම්පික් උළෙලේ ලබා ගෙන ඇති රන් පදක්කම් එකොළහෙන් හතරක් ම Marchandගේ නම ඉදිරියෙන් ලියැවී තිබීම විශේෂත්වයක්. 

මේ අතර ඕස්ට්‍රේලියාවේ Kaylee McKeown විසින් වසර දොළහක් පැරණි ඔලිම්පික් වාර්තාවක් අලුත් කරමින් කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඕස්ට්‍රේලියාවේ ම Cameron Mcevoy විසින් පිරිමි මීටර් 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

මලල ක්‍රීඩාවෙන් නව ලෝක වාර්තාවක් 

මෙවර ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලින් පෙර නොවූ විරූ දක්ෂතා දක්නට ලැබෙනු ඇති බව තහවුරු කරමින් ඊයේ දිනයේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඇමරිකානු මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමට හැකියාව ලැබුණා. 

මෙහි දී මීට පෙර තිබූ ලෝක වාර්තාවත් තත්පරයකටත් වඩා වැඩි කාලයකින් වෙනස් කිරීමට ඇමරිකාවට මෙහි දී හැකියාව ලැබුණු අතර, එම තරග වටය ක්‍රීඩා කළ තවත් රටවල් හතරක් තම ජාතික වාර්තා අලුත් කිරීමට සමත් වීමත් විශේෂත්වයක්. ඇමරිකාව එම ඉසව්වේ පළමු තරගවටය ජයග්‍රහණය කරනා අතරේ මහා බ්‍රිතාන්‍ය දෙවැනි තරග වටය ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එමෙන්ම මෙම ඉසව්වේ වඩාත් බලාපොරොත්තු තබා ගත හැකි නෙදර්ලන්තය සහ බෙල්ජියම ද අවසන් තරගයට පහසුවෙන් ම සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

තවත් ඔලිම්පික් වාර්තාවක් 

මේ අතර ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ පිරිමි මීටර් 10,000 අවසන් තරගය නව ඔලිම්පික් වාර්තාවක් සමඟම ජයග්‍රහණය කිරීමට උගන්ඩාවේ Joshua Cheptegei සමත් වුනා. ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවට ද හිමිකම් කියන Cheptegei විසින් මෙසේ බිඳ හෙළීමට සමත් වුනේ වසර 16 පැරණි ඔලිම්පික් වාර්තාවක් වීම විශේෂත්වයක්. 

කාන්තා මීටර් 100 උණුසුම් වෙයි 

කාන්තා මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරග ද ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර, එහි දී හොඳම කාලය වාර්තා කිරීමට Marie Jose Ta Lou විසින් සමත් වුනේ ඉසව්ව තත්පර 10.87කින් නිමා කරමිනුයි. එමෙන්ම ඉසවේ වත්මන් ලෝක ශූරිය වන ඇමරිකාවේ Sha’Carri Richardson තත්පර 10.94කින් තරගය නිම කරනා අතරේ, හිටපු ලෝක ශූරියක් වන ජැමෙයිකාවේ Shelly-Ann-Fraser-Pryce තත්පර 10.92කින් තරගය නිම කිරීමට සමත් වුනා. ඊයේ දිනයේ දී ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් 08 දෙනෙකු ඉසව්ව තත්පර 11ට අඩුවෙන් නිමා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්. 

මේ අතර කාන්තා උස පැනීමේ ඉසව්වේ වත්මන් ලෝක වාර්තාවේ හිමිකාරිනිය වන යුක්‍රේනයේ Yaroslava Mahuchikh මෙන්ම, ඇයට මෙවර එල්ල වන විශාලතම අභියෝගය ලෙස සැලකිය හැකි ඕස්ට්‍රේලියාවේ Nicola Olyslagers ද සිය ඉසව්වේ මූලික වටයෙන් පහසුවෙන් ම ඉදිරියට යාමට සමත් වුනා. 

තරුෂිගේ පළමු උත්සාහය අසාර්ථක වෙයි 

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තු අතර ඉහළින්ම සිටි තරුෂි කරුණාරත්න ඊයේ කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වූ නමුත් ඇයට තම තරගයෙන් හිමි වුනේ අවසන් ස්ථානයයි. ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් 49 දෙනා අතුරින් ඇයට 45 වැනි ස්ථානය හිමි වුනා. කෙසේ වෙතත් ඇයට අද දිනයේ දී නැවත වරක් ඔලිම්පික් තරග බිමේ ක්‍රීඩා කිරීමට අවකාශය හිමි වන අතර, ඒ අනුව කාන්තා මීටර් 800 ඉසව්වේ මීළඟ සුදුසුකම් ලැබීමේ තරග අතරින් හතර වැනි තරගයට ඇය අද සවස 3.14ට සහභාගී වීමට නියමිතයි. 

Josh Kerr සහ Jakob Ingebrigtsen ඉදිරියට 

මේ අතර පිරිමි මීටර් 1500 ඉසව්වේ මූලික වටයට සහභාගී වූ මහා බ්‍රිතාන්‍යයේ Josh Kerr සහ නෝර්වේ දේශයේ Jakob Ingebrigtsen ඊයේ දිනයේ පහසුවෙන් ම ඉදිරි තරගවටය වෙත සුදුසුකම් ලබා ගත්තා. 

මෙවර ඔලිම්පික් උළෙලේ ඊයේ දිනයේ තරග විස්තර එසේ වන අතරේ අද (03) දිනයේ දී මලල ක්‍රීඩා ඉසව් අතරේ පිරිමි මීටර් 100 මූලික වටයේ තරග, පිරිමි යගුලිය විසිකිරීම අවසන් තරගය, කාන්තා තුන් පිම්ම අවසන් තරගය, මිශ්‍ර 400×4 අවසන් තරගය මෙන්ම කාන්තා මීටර් 100 අවසන් පූර්ව සහ අවසන් තරග ක්‍රියාත්මක වීමට නියමිතයි. 

එමෙන්ම පිහිනුම් ඉසව් අතුරින් පිරිමි මීටර් 100 සමනල ආර ඉසව්වේ, කාන්තා මීටර් 200 මිශ්‍ර ආර ඉසව්වේ, කාන්තා මීටර් 800 මිශ්‍ර ආර ඉසව්වේ මෙන්ම, කාන්තා මීටර 100×4 මිශ්‍ර ආර ඉසව්වේ අවසන් තරග ද ක්‍රියාත්මක කිරීමට සූදානම්. 

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<