Teejay සහ Singer අවසන් තරගය හෙට

4

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන MCA Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (03) කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැත්විමට නියමිතයි.

මෙම තරගය සඳහා සිතාර ගිම්හාන් ගේ නායකත්වයෙන් යුත් Teejay Lanka කණ්ඩායම සහ පසිඳු ඩිල්ශාන් ගේ නායකත්වයෙන් යුත් Singer Sri Lanka කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

Teejay Lanka කණ්ඩායම මෙම තරගය සඳහා එක් වෙන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වෙමින් සහ පළමු අවසන් පූර්ව වටයේ දී Singer Sri Lanka කණ්ඩායමට එරෙහි ව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි. එමෙන් ම තරගාවලියේ එක ම අපරාජිත කණ්ඩායම වෙන්නේ ද Teejay Lanka කණ්ඩායමයි.

 Singer Sri Lanka කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අමතර අවස්ථාවක් ද උපයෝගී කර ගත්තා. ඒ පළමු අවසන් පූර්ව තරගයෙන් Teejay Lanka කණ්ඩායමට පරාජය වූවාට පසුව සුදුසුකම් ලබා ගැනීමේ තරගයකට ද එක් වෙමිනුයි.

එම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ MAS Bodyline කණ්ඩායම සහ DFCC බැංකු කණ්ඩායම අතර පැවැති තරගයේ ජයග්‍රාහකයන් වන DFCC බැංකු කණ්ඩායමයි.

නමුත් වර්ෂාව හේතුවෙන් එම තරගය පන්දුවාර 18කට පමණක් සීමා වී නොවිසඳුණ තරගයක් ලෙසින් තරගාවලියට එක් වෙනවා. එම ප්‍රතිඵලයත් සමඟින් පළමු වටයේ දී වැඩි ප්‍රසාද ලකුණු ලබා සිටි Singer Sri Lank ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

මෙතෙක් පැවැති මෙම තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් ලෙසින් Teejay Lanka කණ්ඩායමේ සොහාන් ද ලිවේරා, හසිත බෝයගොඩ සහ අයන සිරිවර්ධන ඉදිරියෙන් සිටිනවා.

Singer Sri Lanka කණ්ඩායම වෙනුවෙන් ඉදිරියෙන් පසුවෙන පිතිකරුවන් වන්නේ හිරුණ ගාල්ලගේ, රශ්මික මධුශංක සහ දනුජ ඉඳුවරයි.

පන්දු යැවීමේ දී දෙපිලේ කණ්ඩායම් අතුරින් ඉදිරියෙන් ම පසු වෙන්නේ Singer Sri Lanka කණ්ඩායමේ නිර්මල රත්නායක. ඔහුට පසුව දනුජ ඉඳුවර සහ පසිඳු ඩිල්ශාන් ද තම කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා තිබෙනවා.

Teejay Lanka කණ්ඩායම වෙනුවෙන් වැඩි කඩුලු ලබා ගත් පන්දු යවන්නන් ලෙසින් ලැයිස්තු ගත වෙන්නේ දිනුක ඩිල්ශාන්, ටිලංග උදේශන සහ ඉනුක කරන්නාගොඩ යි.

Teejay Lanka කණ්ඩායම – සිතාර ගිම්හාන් (නායක), සොහාන් ද ලිවෙරා (කඩුලු රකින්නා), දිනුක ඩිල්ශාන්, හසිත බෝයගොඩ, අයන සිරිවර්ධන, ඉනුක කරන්නාගොඩ, ජනිශ්ක පෙරේරා, ක්‍රිශාන් සංජුල, මල්ෂ තරුපති, මිලාන් රත්නායක, ඔමේෂ් මෙන්ඩිස්, රවීන් ද සිල්වා, රවිශාන් ද සිල්වා, සකුණ ලියනගේ, ශිරාන් ප්‍රනාන්දු, ටිලංග උදේශන, සංජන සිල්වා.

Singer Sri Lanka කණ්ඩායම – පසිඳු ඩිල්ශාන් (නායක), උමේෂ් කසුන්, අකිල සමරකෝන්, දනුජ ඉඳුවර, දුනිත් ජයතුංග, හිරුණ ගාල්ලගේ, කෞෂිත කොඩිතුවක්කු, නිපුන දේශාන්, නිර්මල රත්නායක, රශ්මික මධුශංක (කඩුලු රකින්නා), සංදීප සමෝද්, සඳුන් ප්‍රනාන්දු, සංජන සිල්වා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<