වැඩිම අවධානයක් හිමි වන 2024 ඔලිම්පික් මලල ක්‍රීඩා තරු

Paris Olympics 2024

5
most promising contenders in 2024 paris olympics athletic events

2024 ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වල ආරම්භ ඊයේ (01) දිනයේ කිලෝමීටර් 20 ඇවිදීමේ තරගයෙන් සනිටුහන් වුනා.

ඕනෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක වඩා වැඩි අවධානයක් දිනා ගන්නා ක්‍රීඩා ඉසව්ව ලෙස සැකයකින් තොරව හඳුන්වාදිය හැකි මලල ක්‍රීඩා තරග ඉසව් වෙනුවෙන් මෙවර බලාපොරොත්තු සහගත ක්‍රීඩක/ක්‍රීඩිකාවන් පිළිබඳවයි මේ සටහන ලියැවෙන්නේ.

ශ්‍රී ලංකා බලාපොරොත්තු

ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් සුදුසුකම් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනා අතුරින් තිදෙනෙකු ම මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරන අතර, ඔලිම්පික් තරග බිමට පළමුවෙන් අවතීර්ණ වීමට නියමිත වන්නේ කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කරන තරුෂි කරුණාරත්නයි.

තරුෂි අද (02) පැවැත්වීමට නියමිත කාන්තා මීටර් 800 මූලික වටයේ හය වැනි තරගයට සහභාගී වීමට නියමිත අතර, ඇයගේ තරගය හෙට (03) මධ්‍යම රාත්‍රි 12.00 පැවැත්වීමට නියමිතයි.

ඉන් පසුව අගෝස්තු මස 04 වැනි දා රාත්‍රියේ අරුණ දර්ශන පිරිමි මීටර් 400 මූලික වටයේ ඉසව්වට සහභාගී වීමට නියමිතයි. එමෙන්ම නදීශා ලේකම්ගේ එළඹෙන 07 වැනි දා කාන්තා හෙල්ල විසි කිරීමේ මූලික වටයට ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

Shericka නැති මීටර් 100

මෙවර ඔලිම්පික් උළෙලේ ඉහළ අවධානයක් යොමු වී ඇති කාන්තා මීටර් 100 ඉසව්වට තමන් සහභාගී නොවන බව ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූරී Shericka Jackson විසින් පසුගිය දා නිවේදනය කළා. ඒත් සමඟම මෙම ඉසව්ව ජැමෙයිකාවේ ම Shelly-Ann-Fraser-Pryce සහ ඇමරිකාවේ Sha’carri Richardson අතර ද්වන්ද සටනක් නිර්මාණය කරනු ඇතැයි අනුමාන කළ හැකි.

කෙසේ වෙතත් තමන් මීටර් 100න් ඉවත් වීමට තීරණය කළේ මීටර් 200 ඉසව්වට අවධානය යොමු කිරීම වෙනුවෙන් බව Shericka අවධාරණය කර තිබුණා. නමුත් මෙහි දී ඇයට Sha’carri Richardsonව මුණ නොගැසෙණු ඇති. (Richardson කාන්තා මීටර් 200 ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගත්තේ නැහැ.)

Lylesට එන ජැමෙයිකානු අභියෝගය

පිරිමි මීටර් 100 ඉසව්වේ වත්මන් ලෝක ශූරයා වන ඇමරිකා එක්සත් ජනපදයේ Noah Lyles හට මෙවර මීටර් 100 ඉසව්වෙ හමු වීමට නියමිත ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙස ජැමෙයිකාවේ Kishane Thompson හඳුනාගත හැකි අතර, මෙවර තරගවාරයේ හොඳම ධාවන කාලයට හිමිකම් කියන්නේ ද Thompson විසිනුයි. මීට අමතරව Kenny Bednarek, Letsile Tebogo, Akani Simbine වැනි ක්‍රීඩකයින් රැසක් ද මෙවර මීටර් 100 ඉසව්ව උණුසුම් කිරීමට සූදානමින් පසුවනවා.

Bol , Sydney ?

මෙතෙක් ඉතිහාසයේ කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ හොඳම ක්‍රීඩිකාවන් දෙදෙනා ලෙස හඳුන්වා දිය හැකි නෙදර්ලන්තයේ Femke Bol සහ ඇමරිකා එක්සත් ජනපදයේ Sydney McLaughlin-Levrone අතර පැවැත්වීමට නියමිත තරගය ද මෙවර ඔලිම්පික් උණුසුම් කරනු ඇති. මේ වන විට ඉසව්වේ ලෝක වාර්තාව Sydney සතු වන අතර, ඇය මෙවර එම ලෝක වාර්තාව නැවත වරක් අලුත් කිරීමට සූදානම්ව සිටිනා අතරේ, Femke Bol විසින් Sydneyගේ ප්‍රධානතම ප්‍රතිවාදියා බවට පත් වී සිටිනවා.

ඔලිම්පික් ශූරයාට සතුරන් දෙදෙනෙක්

පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීමේ වත්මන් ඔලිම්පික් ශූරයා වන නෝර්වේ හි Karsten Warholmට එරෙහිව මෙවර ඇමරිකාවේ Rai Benjamin සහ බ්‍රසීලයේ Alison Dos Santos තරග වැදීමට සූදානමින් සිටිනවා. මෙම තරග වාරයේ දී Warholm අනෙක් දෙදෙනාට වඩා තරමක පසුබෑමක් පෙන්නුම් කරන නමුත් ඔලිම්පික් උළෙලේ දී මෙම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ පවතිනවා. කෙසේ වෙතත් මොවුන් තිදෙනා ම මෙම ඉසව්වට මෙතෙක් සහභාගී වූ වේගවත් ම ක්‍රීඩකයින් තිදෙනෙක් ලෙස හඳුනාගත හැකි.

ලෝක වාර්තාවේ හිමිකරු අහිමි ඉසව්ව

පිරිමි මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන Wayde Van Niekerk හට මෙවර තම ඉසව්ව අහිමි වී යනවා. කෙසේ වෙතත් මෙම ඉසව්ව වෙනුවෙන් තවත් ප්‍රබල තරු රැසක් සටනේ යෙදීමට සූදානමින් පසු වන අතර, එහි දී මහා බ්‍රිතාන්‍යයේ Matthew Hudson Smith සහ ඇමරිකාවේ Quincy Hall පිළිබඳ විශේෂ අවධානයක් යොමු වනු ඇති.  මීට අමතරව Kirani James, Steven Gardiner වැනි ධාවකයකින් ද මෙම ඉසව්වේ රන් පදක්කම වෙනුවෙන් මාන බලමින් හිඳිනවා.

Jakob Ingebrigtsenට එල්ල වෙන Josh Kerrගේ අභියෝගය

පිරිමි මීටර් 1500 ඉසව්වේ ප්‍රධානතම තරගකරුවන් ලෙස නෝර්වේ දේශයේ Jakob Ingebrigtsen සහ මහා බ්‍රිතාන්‍යයේ Josh Kerr හඳුන්වා දිය හැකි. මොවුන් දෙදෙනා අතර පසුගිය වසර කිහිපයේ ම කරට කර සටනක් නිර්මාණය වූ අතර, ඒ නිසාම මෙවර ඔලිම්පික් උළෙලේ දී එය තවත් උච්ච අවස්ථාවකට පැමිණෙනු ඇතැයි අනුමාන කළ හැකි.

මේ අතර කාන්තා මීටර් 1500 ඉසව්වේ ප්‍රධාන බලාපොරොත්තුව ලෙස කෙන්යාවේ Faith Kipyegon හඳුන්වාදිය හැකි.

එමෙන්ම පිරිමි මීටර් 5000 ඉසව්වට ද Jakob Ingebrigtsen තරග කිරීමට සූදානමින් සිටින අතරේ, කාන්තා මීටර් 5000 වෙනුවෙන් Faith Kipyegon, නෙදර්ලන්තයේ Sifan Hassan සහ ඉතියෝපියාවේ Gudaf Tsegay අතර තියුණු සටනක් නිර්මාණය වනු ඇති.

මේ අතර පිරිමි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ දී මොරොක්කොවේ Soufiane El Bakkali රන් පදක්කම ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් පවතින බව දැනට අනුමාන කෙරෙනවා.

ආයෙත් රන් බෙදාගනීවි ද?

වත්මන් පිරිමි උස පැනීමේ ඉසව්වේ ප්‍රධානතම ප්‍රතිවාදීන් දෙදෙනා වන ඉතාලියේ Gianmarco Tamberi සහ කටාර් දේශයේ Mutaz Essa Barshim අතර පැවැත්වුණු 2020 ඔලිම්පික් තරගය ඉතිහාසගත වුනේ ඔවුන් දෙදෙනා ම රන් පදක්කම් දෙකක් බෙදා ගැනීමට එකඟ වීමත් සමඟයි. කෙසේ වෙතත් මෙවර ඔලිම්පික් උළෙල වන විට Barshim තරමක පසුබෑමක් පෙන්නුවා කරනවා. නමුත් Tamberi තම ක්‍රීඩා දිවියේ හොඳම කාල සීමාවක් පසු කරමින් සිටිනා බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.

මේ අතර කාන්තා උස පැනීමේ ප්‍රධානතම ක්‍රීඩිකාව බවට පත් වීමට යුක්‍රේනයේ Yaroslava Mahuchikh සමත් වුනේ පසුගිය දා එම ඉසව්වේ ලෝක වාර්තාව ද තමන් සතු කර ගනිමිනුයි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ Nicola Olyslagersගෙන් ඇයට ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇති බව අනුමාන කල හැකි.

ලෝක ශූරයින් නම්බුව රැක ගනීවිද?

මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි දුර පැනීමේ ඉසව්වේ ප්‍රබලතමයා ලෙස ග්‍රීසියේ Miltiadas Tentoglou හඳුනා ගැනෙන අතර, ඔහු නිමා වූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ද රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. මෙවරත් ඔහු තම ජයග්‍රාහී ගමනේ ඉදිරියට ම ඇදේවි ද යන්න ඉදිරියේ දී ඔබට දැක ගත හැකි වනු ඇති.

මේ අතර මේ වන විට ලොව වැඩිම අවධානයක් දිනා ගන්නා මලල ක්‍රීඩකයින් අතරේ පෙරමුණේ රැඳෙන ස්වීඩන් රිටි පැනීමේ ශූරයා Mondo Duplantis හට මේ වන විට ඇති විශාලතම අභියෝගය ඔලිම්පික් රන් පදක්කම වෙත යාමටත් වඩා තමන්ගේ ම ලෝක වාර්තාව අලුත් කර ගැනීම බව සැකයකින් තොරව පැවසිය හැකි.

කෙසේ වෙතත් පිලිපීන රිටි පැනීමේ ක්‍රීඩක Ernest Obiena ද මෙවර ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් මාන බලමින් හිඳිනු ඇති.

මෙවර ලොකුම අඩුව තුන් පිම්මෙන්

කාන්තා තුන් පිම්ම ඉසව්වේ ඔලිම්පික් සහ ලෝක ශූරිය වන වෙනිසියුලාවේ Yulimar Rojas හට ආබාධයක් නිසා මෙවර ඔලිම්පික් උළෙල අහිමි වී යනවා. මේ නිසා කියුබාවේ Leyanis Hernandez හට මෙවර කාන්තා තුන් පිම්ම ඉසව්වේ ජයග්‍රහණයක් සොයා යාමට විශාල අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා.

ඉන්දියාවට තවත් රන් පදක්කමක්?

2020 ඔලිම්පික් උළෙලේ දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කළ ඉන්දියාවේ Neeraj Chopra මෙවර ද තම රන් පදක්කම ආරක්ෂා කර ගැනීමේ අදිටනින් මෙන්ම, හෙල්ල විසි කරමින් මීටර් 90 සීමාව තරණය කිරීමේ බලාපොරොත්තුවෙන් ද යුතුව ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා. ඔහුට මෙවර ඇති ඉහළම අභියෝග ලෙස චෙක් ජනරජයේ Jakob Vadlejch මෙන්ම පාකිස්තානයේ Arshad Nadeem හඳුන්වා දිය හැකි.

මීට අමතරව කාන්තා සහ පිරිමි මීටර් 800, 10000 සහ කවපෙත්ත, මිටිය, යගුලිය විසිකිරීම වැනි ඉසව්වල ද ලොව හොඳම ක්‍රීඩක/ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික් පිටියට පිවිසීමට සූදානමින් සිටිනවා.

මේ අනුව මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අන් කවර ක්‍රීඩා ඉසව්වකටත් වඩා තරගකාරී විය හැකි බව අනුමාන කළ හැකි.

එම තරගකාරී බව සජීවී ව දැක බලා ගැනීමේ අවස්ථාව ThePapare හරහා ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<