Murray සුබ ගමන් කියනා අතරේ ඇමරිකාව සටනට අවතීර්ණ වෙයි

Paris Olympics 2024

5
Paris Olympics 2024 August 01st roundup

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ හය වැනි දිනය නිමා වන විට තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණේ රැඳීමට චීනය සමත් වී තිබෙනවා.

මේ වන විට චීනය රන් පදක්කම් 11ක් සමඟින් පෙරමුණේ රැඳී සිටිනා අතර, මෙතෙක් කල් පදක්කම් සටහනේ පහතින් සිටි ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 9ක් සමඟ සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

Alcaraz නොනැවතී ඉදිරියට

ස්පාඤ්ඤ ටෙනිස් ක්‍රීඩක Carlos Alcaraz ඊයේ (01) දිනයේ දී පිරිමි ඒකල ටෙනිස් අර්ධ අවසන් තරගය ජයග්‍රහණය කරමින් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. මීට පෙර Rafael Nadal සමඟ පිරිමි යුගල ඉසව්වට ද Alcaraz සහභාගී වුනත් එහි දී ඔවුන්ගේ ගමන අර්ධ අවසන් වටයෙන් නතර වුනා.

මේ අතර චීනයේ Qinwen Zheng විසින් පෝලන්තයේ Iga Swiatek පරාජය කරමින් කාන්තා ඒකල ටෙනිස් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර, චීන ක්‍රීඩිකාවක් විසින් මෙම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත වුනා.

බොක්සිං අර්බුදය

මේ වන විට මුලු මහත් ලෝක ප්‍රජාවේ ම අවධානය යොමු වී ඇති සිදුවීමක් ලෙස ඊයේ පැවැත්වුණු කාන්තා 66Kg බර පන්තියේ 16 දෙනාගේ වටයේ ඉතාලි ක්‍රීඩිකා Angela Carini සහ ඇල්ජීරියානු ක්‍රීඩිකා Imane Khelif අතර තරගය හඳුන්වා දිය හැකි.

මෙම තරගය ආරම්භ වීමෙන් තත්පර 46කට පසුව තරගය නතර කරන මෙන් Carini විසින් ඉල්ලා සිටි අතර, ඇය සඳහන් කළේ තමන්ට තවදුරටත් එම තරගය ක්‍රීඩා කළ නොහැකි බවයි.

“මම වේදනාවන්ට හුරු වුන කෙනෙක්. ඒත් මට කවදාවත් ඒ වගේ පහර එල්ල වෙලා නැහැ. ඒක තවදුරටත් පවත්වාගෙන යන්න අමාරුයි.”

Cariniගේ ප්‍රතිවාදිනිය වුනු Imane Khelif පසුගිය වසරේ ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වුණු ලෝක ශූරතාවයේ දී තම ස්ත්‍රී/පුරුෂ බාවය තහවුරු කිරීම අපොහොසත් වීම නිසා තරගයෙන් ඉවත් කෙරුණා. ඇයට මෙවර ඔලිම්පික් උළෙල ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දීම පිළිබඳ ව මේ වන විට දැඩි කතාබහක් ද නිර්මාණය වී තිබෙනවා.

මලල ක්‍රීඩා ඉසව් ආරම්භ වෙයි

බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ඇති ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් වන මලල ක්‍රීඩා ඉසව් ද ඊයේ දිනයෙන් ආරම්භ වුනා.

මෙහි දී දිනයේ ක්‍රියාත්මක වූ එකම මලල ක්‍රීඩා ඉසව්ව ලෙස කාන්තා සහ පිරිමි කිලෝමීටර් 20 ඇවිදීමේ ඉසව්ව ක්‍රියාත්මක වුනා. මෙහි දී පිරිමි ඉසව්ව ජයග්‍රහණය කිරීමට ඉක්වදෝරයේ Brian Pintado විසින් සමත් වූ අතර, මෙය 1996 වසරෙන් පසුව ඉක්වදෝරයට ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වකින් හිමි වූ පළමු රන් පදක්කම ලෙසත් ඉතිහාසගත වුනා.

මේ අතර මෙහි කාන්තා ඉසව්ව ජයග්‍රහණය කිරීමට චීනයේ Yang Jiayu විසින් සමත් වුනා.

අවුරුදු 17 මේසපන්දු වීරයා

පිරිමි ඒකල මේසපන්දු ඉසව්වේ දී චීන තායිපේ ක්‍රීඩක Yun-Ju Lin පරාජය කරමින් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශ ක්‍රීඩක Félix Lebrun විසින් සමත් වුනා. මෙම තරගය තරගවට 7ක් දක්වා ම ඇදී ගිය අතර, තියුණු තරගයකින් පසුව Félix Lebrun හට ජය හිමි වුනා. තරගය ජයග්‍රහණය කළ ප්‍රංශ ක්‍රීඩකයා තවමත් 17 හැවිරිදි වියේ පසු වීම විශේෂත්වයක්.

Murray ද සුබ ගමන් කියයි

ඊයේ දිනයේ ම ටෙනිස් යුගල අර්ධ අවසන් පූර්ව වටයේ දී මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් ක්‍රීඩා කළ සුපිරි ක්‍රීඩක Andy Murray සහ ඔහුගේ සගයා වූ Dan Evans හට ඇමරිකාව හමුවේ පරාජය වීමට සිදු වුනා.

මෙවර ඔලිම්පික් උළෙලින් පසුව තමන් ටෙනිස් ක්‍රීඩාවට සමුදීමට බලාපොරොත්තුවෙන් පසු වන බව Murray මීට පෙර සඳහන් කර තිබූ අතර, ඒ අනුව මෙය ඔහුගේ අවසන් ටෙනිස් ජාත්‍යන්තර අත්දැකීම වනු ඇති.

කෙසේ වෙතත් සර්බියාවේ Novak Djokovic ඊයේ දිනයේ දී තම කේවල ටෙනිස් අර්ධ අවසන් වටය ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගත්තා.

Simone Biles තවත් රන් පදක්කමකට

ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ Simone Biles විසින් ඊයේ රාත්‍රියේ දී කාන්තා ජිම්නාස්ටික් All Around තරග ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙම තරගයේ මුල් බාගයේ දී Biles තරමක් පිටුපසින් සිටියත් පසුව ඇය ඉසව්වේ ජයග්‍රහණය කරා යාමට සමත් වූ අතර, එහි රිදී පදක්කම බ්‍රසීලයේ Rebeca Andrade හට හිමි වුනා.

මෙය Simone විසින් හිමි කරගත් හය වැනි ඔලිම්පික් රන් පදක්කම ලෙස සටහන් වූ අතර, මෙවර ඔලිම්පික් උළෙලේ ඇගේ රන් සිහිනය මෙතෙකින් ද නිමා නොවනු ඇති.

Katie Ledecky ඉතිහාසගත වෙයි

ඊයේ දිනයේ ද කාන්තා පිහිනුම් තරඟ ඉසව් කිහිපයක ම අවසන් තරග ක්‍රියාත්මක වූ අතර, මෙහි දී කාන්තා මීටර් 200 සමනල ආර ඉසව්ව ජයග්‍රහණය කිරීමට 17 හැවිරිදි කැනඩා ක්‍රීඩිකා Summer Mcintosh සමත් වුනා. මේ අතර පිරිමි මීටර් 200 පසුපස ආර ඉසව්වේ ජය හංගේරියාවේ Kos Hurbert හට හිමි වූ අතර, කාන්තා මීටර් 200 ලය ආර ඉසව්ව ජයග්‍රහණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ Kate Gouglassට හැකියාව ලැබුණා.

දිනයේ අවසන් පිහිනුම් ඉසව්ව වූ කාන්තා මීටර් 200×4 නිදහස් ආර ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව විසින් සමත් වූ අතර, ඇමරිකාවට එහි රිදී පදක්කම හිමි වුනා.

මෙහි දී රිදී පදක්කම ජයග්‍රහණය කළ ඇමරිකානු කණ්ඩායමේ සාමාජිකාවක් වූ Katie Ledecky සිය 13 වැනි ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඒ අනුව ඔලිම්පික් පිහිනුම් ඉසව්වකින් වැඩිම පදක්කම් ප්‍රමාණයක් ජයග්‍රහණය කළ ඇමරිකානු කාන්තාව බවට පත් වීමට ද Ledeckyට ඊයේ දිනයේ හැකියාව ලැබුණා.

තරුෂි අද තරග බිමට

ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව් ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර අද (02) දිනයේ දී තරග ඉසව් කිහිපයකම මූලික වටයේ තරග පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේ උදෑසන වරුවේ (ශ්‍රී ලංකා වෙලාවෙන් දහවල් 1.30න් පසු) කාන්තා උස පැනීම, පිරිමි මිටිය විසි කිරීම, පිරිමි මීටර් 1500 සහ කාන්තා මීටර් 100 මූලික වටයේ තරග පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම අද රාත්‍රියේ දී කාන්තා මීටර් 5000, කාන්තා තුන් පිම්ම, මිශ්‍ර 400×4 ඉසව්වල මූලික වටයේ තරග ද ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුවක් වන තරුෂි කරුණාරත්න අද දිනයේ කාන්තා මීටර් 800 මූලික වටයේ තරග ඉසව්වට සහභාගී වීමට සූදානම් ව සිටිනවා. මෙහි දී ඇය විසින් ඉසව්වේ හය වැනි මූලික වටයේ තරගයට සහභාගී වනු ඇති.

තරුෂිගේ තරගය ද ඇතුළුව 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<