අපලය මැද පෙළේ පමණක් ම ද?

India tour of Sri Lanka 2024

1
India tour of Sri Lanka 2024

තරගයක ජයග්‍රහණයේ උද්දාමයට වඩා, වැඩි කලක් රැඳී පවතින්නේ සේ ම වඩාත් ජනගත වන්නේ ද තරගයක පරාජයයි. එම පරාජය, වඩාත් ඇඟට දැනෙන එකක් වූයේ නම් එහි ප්‍රතිඵලය දෙගුණ තෙගුණ වන්නේ ය.

නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී සිදු වූයේ එයයි. එය වඩාත් දළු ලා ලියලන්නේ තෙවැනි තරගයේ දී ලත් පරාජයයි. එය අතිශය ශෝචනීය පරාජයකි.

තරගය ප්‍රතිඵලය තරගයේ විරයා
1 වැනි තරගය ඉන්දියාවට ලකුණු 43ක ජයක්. Suryakumar Yadav
2 වැනි තරගය ඉන්දියාවට කඩුලු 7ක ජයක්. Ravi Bishnoi
3 වැනි තරගය ඉන්දියාවට සුපිරි පන්දුවාරයේ ජයක්. Washington Sundar

මේ තරග පරාජයන් ඉන්දීය කණ්ඩායම මෙරට පිවිසෙනවා යැයි කන වැකුණ දා සිට ම පැවැසෙන්නකි. ඊට ඔලොගු තැබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පෙර තරගවල දී ද පෑ දුර්වලතාවනුයි.

එය අපි මේ වසරේ ජනවාරියේ සිට ගනිමු.

මේ වසර ආරම්භයේ සිට අප ද්විත්ව තරගාවලියන් වෙනුවෙන් එක් ව ඇත්තේ ජනවාරියේ සිම්බාබ්මේ සමඟ, පෙබරවාරියේ ඇෆ්ගනිස්තානය සමඟ සහ මාර්තුවේ දී බංග්ලාදේශය සමගිනුයි. මේ කණ්ඩායම් ත්‍රිත්වය ම මේ වෙද්දී ලෝක ශ්‍රේණිගත කිරීම් හී සිටින්නේ අප කණ්ඩායමට වඩා අඩු මට්ටමේ ය.

එය කෙසේ වෙතත් මේ සෑම තරගාවලියක ම ප්‍රතිවාදීන් හමුවේ එක් තරගයක් පමණක් පරාජය වෙමින් තරග 2-1ක ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අපේ ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි.

ඊට පසුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හා එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම,  එහි දී පළමු තරගය ද්විත්වයේ දී දකුණු අප්‍රිකාව වෙතින් පමණක් නොව පෙර 2-1ක් ලෙස තරගාවලි ජයක් ලැබූ බංග්ලාදේශය වෙතින් ද පරාජයට පත් වූවේ ය. එහි දී යම්තම් ජාමෙ බේරා ගන්නේ නෙදර්ලන්තය හා සමඟ තරගය ජයග්‍රහණය කිරීමෙනුයි.

ඉන් අනතුරු ව අප සහභාගී වෙන්නේ මෙම තරගාවලිය හා සමඟ යි. මේ වසරේ මේ දක්වා ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විස්සයි විස්ස හරි හමං කණ්ඩායමක් සමඟ එක් වූවා නම් ඒ මෙම තරගාවලිය හා සමඟ පමණි.

ඉන්දියාව මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ දී රැදී සිටින්නේ පළමු ස්ථානයේයි. එමෙන් ම ලෝකයේ දක්ෂතම පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී ඉන්දියාවේ පිතිකරුවෝ තිදෙනෙක් පළමු ස්ථාන 10 අතර සිටින අතර අපේ අය අතුරින් දෙදෙනෙක් ශ්‍රේණිගත වන්නේ ඊට පසුව ලැයිස්තු ගත වන 10 දෙනා අතරට ය.

පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වූවන් ගේ ලැයිස්තුව සැකසීමේ දී අපේ ක්‍රීඩකයෝ දෙදෙනෙක් පළමු 10 දෙනා අතර අසුන් ගෙන සිටින අතර ඉන්දියාවෙන් අසුන් ගෙන සිටින්නේ එක් අයෙක් පමණි.

ලෝක මට්ටමේ දක්ෂතා එසේ වුවත් මෙරට දී නිමා වූ තරගාවලියේ දී ක්‍රීඩකයන් ලැයිස්තු ගත වෙන්නේ කණ්ඩායම් පෙර පෑ දක්ෂතා අනුව නම් නොවේ.

නිමා වූ තරගාවලියේ දක්ෂතා දැක් වූවන්ගේ අනු පිළිවෙළ

  පිතිකරු ලැයිස්තුව පන්දු යවන්නන්ගේ ලැයිස්තුව
  Batsman Mat Runs Best Bowler Mat Runs W Best
1 පැතුම් නිස්සංක 3 137 79 Ravi Bishnoi 3 101 6 3/26
2 කුසල් පෙරේරා 3 119 53 මතීෂ පතිරණ 3 58 5 4/40
3 කුසල් මෙන්ඩිස් 3 98 45 Arshdeep Singh 2 48 4 2/24
4 Suryakumar Yadav 3 92 58 Axar Patel 2 68 4 2/30
5 Yashasvi Jaiswal 3 80 40 මහීෂ් තීක්ෂන 3 88 4 3/28
6 Shubman Gill 2 73 39 වනිඳු හසරංග 3 91 4 2/29

මේ ලැයිස්තුවේ ලෝක ශ්‍රේණිගත කිරීම් හී ඉහළින් වැජඹෙන කිසිවෙක්ටත් ඉඩක් ලැබී නැත. ඉඩ ලැබී ඇත්තේ එදිනට තරගයෙන් තරගයට දක්ෂතා දැක් වූවන් වෙනුවෙනුයි.

ඒ අනුව මේ ලැයිස්තුව හා ගත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වරදක් තිබෙනවා යැයි බැලූ බැල්මට ම කිව නොහැකියි. නමුත් ඔවුන්ට, ඔවුන්ගේ දක්ෂතාවන්ට මෙම තරගාවලියේ දී නිසි ඇගයීමක් නොලැබෙන්නේ ඉතා දුක්ඛදායී ලෙස තරග ත්‍රිත්වය නිමා වීම හේතුවෙනුයි.

ශ්‍රී ලාංකීය විස්සයි විස්ස පිටියේ නව නායකයා ලෙසින් ස්තීර ලෙස අභිශේක ලැබූ චරිත් අසලංක කෙතරම් ජවසම්පන්න ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින් වී තිබුණ ද මෙම තරගාවලි පරාජයත් සමඟින් ඔහුව ද ප්‍රශ්න කරන තැනට වැඩ කටයුතු සිදු වුණි.

වයස අවුරුදු 19න් පහළ සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් තරග සාර්ථක ලෙසෙ මෙහෙයවූ නායකයෙක් ලෙසින් චරිත සහතික ලත් චරිත් ට ප්‍රථම සම්පූර්ණ තරගාවලියේ දී තම කණ්ඩායමට නිසි නායකත්වයක් දී ගන්නට නොහැකි වීම කණගාටුවට කරුණකි. නායකත්වයේ පමණක් නොවේ පිතිකරුවෙක් ලෙසින් ද ඔහුට තම යුතුකම ඉටුකර ගැනීමේ හැකියාවක් නොලැබුණි. ඔහු තරග 3ට ම ලබා ගන්නේ ලකුණු 3ක් පමණි.

මැදි පෙළින් පිටියට පිවිසෙන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් වර්ගීකරණයට ලත් දසුන් ශානක තරග 2කට පමණක් සහභාගී වෙමින් කිසිදු ලකුණක් ලබා නොගන්නා අතර වනිඳු හසරංග ගේ මෙහෙවර ද ලකුණු 5කට පමණක් සීමා වූණි.

එමෙන් ම කමිඳු මෙන්ඩිස්ට ද මෙම තරගාවලියේ තරග 3ක දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 39ක් පමණි.

එම කඩා වැටීම් තරගාවලිය පුරා ම අඩුවක් නැතිව සිදුවීම නම් නොවිය යුත්තක්. එහි වරද මාධ්‍ය හමුවකට පැමිණ “කණගාටුයි. අපෙන් යම් වරදක් සිදු වුණා.” වැනි වදන් මඟින් නිවැරදි කිරීමට යෑම නම් තවත් කතාන්දර රාශියකට මුල පිරීමකි.

සටන්කරුවා තැන බලා, ඉලක්කයට පහර දෙන්නා සේ ක්‍රිකට් ක්‍රීඩකයා ද තැන බලා ඉලක්කයට පහර දිය යුතුයි. ඒ මගින් පැවැසෙන්නේ පිත්තෙන් නිසි පරිදි පන්දුවට පහර දෙන්නට යැයි කියන කියමනක් නොව, ප්‍රතිවාදීන්ගේ තරම දැන ඊට අනුගත ව තරගය පිවිසීය යුතුය බවයි.

නමුත් අප එවැන්නක් තරගාවලිය පුරා ම නොදුටුවෙමු.

 නිමා වූ තරග ත්‍රිත්වයේ කඩුලු අතර සබඳතා නිර්මාණය වූ අයුරු

  කඩුලු බිඳ වැටීම් (සබඳතා)
තරගය ඉනිම 1 2 3 4 5 6 7 8 9 10
1 170/10 84 140 (56) 149 (9) 158 (9) 160 (2) 161 (1) 163 (2) 170 (7) 170 (0) 170 (0)
2 161/9 26 80 (54) 130 (50) 139 (9) 140 (1) 140 (0) 151 (11) 154 (3) 161 (7)  
3 137/8 58 110 (52) 117 (7) 117 (0) 129 (12) 132 (3) 132 (0) 132 (0)    

මේ ලැයිස්තුව අනුව සෑම තරගයක දී ම 1 වැනි සහ 2 වැනි කඩුලුවල දී ගෞරවනීය ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ඉනිම්වලට ලැබී තිබීම පැසසිය යුතුයි. 2 වැනි තරගයේ 3 වැනි කඩුල්ලේ දී කමිඳු මෙන්ඩිස් සහ කුසල් පෙරේරා එක් ව ලකුණු 50ක සබඳතාවක් එක් කරන අතර එතැන් සිට ගණනය කිරීමේ දී ඉනිම් 20ක දී තනි ඉලක්කමේ ලකුණු සබඳතා 19ක් මේ තුළ තිබීම ඉතා ශෝචනීය ය.

තරගාවලිය නිමා වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නෝ ද ඉහත ලැයිස්තුවේ ඉදිරි පෙළ අසුන්වල ඈඳි ගත්ත ද ඔවුන් ද මේ තරගාවලිය පුරා කළ විශේෂිත දක්ෂතාවක් නොමැති බැව් පැවැසිය හැකියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ ක්‍රීඩකයන් අතුරින් පන්දුවාරයකට ලකුණු 5කට අඩුවෙන් ලබා දුන් කෙනෙක් වූවා නම් ඒ තම මංගල විස්සයි විස්ස තරගයට සහභාගී වූ 21 හැවිරිදි වියේ පසුවෙන චමිඳු වික්‍රමසිංහ ය. ඔහු තමන් විසින් යැවුණ පන්දුවාර 4 ලකුණු 17කට සීමා කරමින් යවන්නේ කඩුල්ලක් ද ඊට එක් කර ගනිමිනි.

නමුත් අනෙක් සෑම පන්දු යවන්නෙක් ම පන්දුවාරයකට ලකුණු 8ක් ඉක්මවා ප්‍රතිවාදීන්ට ලබා දීමට තරම් පරිත්‍යාගශීලී වීම කණගාටුවට කරුණකි. මේ අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දුයවන්නා ලෙසින් සැලකෙන වනිඳු හසරංග 9.10ක සාමාන්‍යයක් ලබා දෙද්දී, මතීෂ පතිරණ ගේ පන්දු යැවීම 10.54ක සාමාන්‍යයක් වාර්තා වෙනවා.

එවන් තත්ත්වයක දී කණ්ඩායමක් ගොඩ ගැනීම ගැන කුමන කතා ද?

ශ්‍රී ලංකාවේ මෙම අපලය ඇත්තේ මැද පෙළ දුර්වලතාවයක් හෝ පන්දු යවන්නන්ගේ දුර්වලතාවයක් පමණක් නොවේය යන්න බොහෝ දෙනෙක් ගේ මතයයි. ලෝක ශ්‍රේණිගත කිරීමේ දී ඉදිරි පෙළින් ලැයිස්තු ගත කණ්ඩායම් සමඟ පැවැත්වෙන සෑම තරගාවලියක දී ම මෙම කරුමය ශ්‍රී ලංකාව වෙලා ගන්නා බැව් ඉතිහාසය නිරීක්ෂණය කිරීමෙන් දැක ගත හැකියි.

ඒ අනුව කළ සොයා බැලීමේ දී ශ්‍රී ලංකාව අවසන් වරට විස්සයි විස්ස තරගවල දී තමන්ට වඩා ඉදිරියෙන් ශ්‍රේණිගත වූ කණ්ඩායමක් පරාජය කර ඇත්තේ 2021 වසරේදීයි. ඒ දසුන් ශානකගේ නායකත්වයෙන් ඉන්දියාවට එරෙහි ව වූ තරග 3කින් සමන්විත වූ තරගාවලියේ තරග 2-1ක ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

නමුත් එතැන් සිට මේ දක්වා පැවැති තරග වූ දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව (2), ඉන්දියාව (2) සහ නවසීලන්තය අතර පැවැති තරගාවලි 6 ම පරාජිත තරග ලෙසිනුයි ඉතිහාසයට එක් ව ඇත්තේ. එම තරගාවලියන් හී දි තරගයක් – දෙකක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූව ද එපමණකින් පමණක් ම සෑහීමට ඔවුන් ට ඒ සෑම තරගාවලියක දී ම සිදු වුණි.

ඒ ඔවුන් කෙරෙහි වන බය ද?

තරගයක හෝ තරගාවලියක ජය – පරාජය සාමාන්‍ය ය. න්‍යාය වන්නේ දක්ෂයා ජයග්‍රහණය කිරීම ය. ඒ ප්‍රතිඵලය මගින් වැඩි පීඩනයට ලක් වෙන්නා පරාජිතයා ය. එකී පරාජය නැවත නැවතත් විවේචනය කිරීම මඟින්, එහි නිවැරදි වීමක් ද බලාපොරොත්තු විය නොහැකියි.

එසේ වූවා කියා එම වරද ම නැවත නැවතත් සිදු කරමින් “කණගාටු” යැයි පැවැසීම ද අප ක්‍රිකට් ක්‍රීඩාවේ න්‍යාය නොවේ. ශ්‍රී ලාංකීය අප සැමගේ බලාපොරොත්තුව සේ ම ආශිර්වාදය ද මේ නරා වලෙන් ගොඩ එන දවසක් ගැන ය.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<