ආසියාව කැළඹූ තරගාවලියක සුල මුල

Women’s T20 Asia Cup

5

2024 ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලිය අවසන් වෙන්නේ පළමු වරට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිකර දෙමින්. එහි දී ඉතිහාසයේ මෙතෙක් පැවැති සෑම තරගාවලියක දී ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් ඉන්දියාවට එරෙහි ව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

ආසියානු කුසලාන තරග ඉතිහාසය

සත්කාරකත්වය වසර තරග ජයග්‍රහණය ප්‍රතිවාදීන්
1 ශ්‍රී ලංකාව 2004 එක්දින ඉන්දියාවට තරග 5-0ක ජයක්. ශ්‍රී ලංකාව
2 පාකිස්තානය 2005 එක්දින ඉන්දියාවට ලකුණු 97ක ජයක්. ශ්‍රී ලංකාව
3 ඉන්දියාව 2006 එක්දින ඉන්දියාවට කඩුලු 8ක ජයක්. ශ්‍රී ලංකාව
4 ශ්‍රී ලංකාව 2008 එක්දින ඉන්දියාවට ලකුණු 177ක ජයක්. ශ්‍රී ලංකාව
5 චීනය 2012 T20 ඉන්දියාවට ලකුණු 18ක ජයක්. පාකිස්තානය
6 තායිලන්තය 2016 T20 ඉන්දියාවට ලකුණු 17ක ජයක්. පාකිස්තානය
7 මැලේසියාව 2018 T20 බංග්ලාදේශයට කඩුලු 3ක ජයක්. ඉන්දියාව
8 බංග්ලාදේශය 2022 T20 ඉන්දියාවට කඩුලු 8ක ජයක්. ශ්‍රී ලංකාව
9 ශ්‍රී ලංකාව 2024 T20 ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. ඉන්දියාව

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය කරා යන්නේ අපරාජිතවයි. එහි දී වැඩි කාර්යභාරයක් කළ ක්‍රීඩිකාව ලෙසින් අවිවාදයෙන් ම ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හැඳින්විය හැකියි. ඇය තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය සේ ම ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය ලෙසින් ද දක්ෂතා දක්වනු ලැබූ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද සම්මානය පාත්‍ර වීමට සමත් වෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ

  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිළුලය තරගයේ වීරයා
1 බංග්ලාදේශය ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්. විශ්මි ගුණරත්න
2 මැලේසියාව ශ්‍රී ලංකාවට ලකුණු 144ක ජයක්. චමරි අතපත්තු
3 තායිලන්තය ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්. චමරි අතපත්තු
4 පාකිස්තානය ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්. චමරි අතපත්තු
5 ඉන්දියාව ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. හර්ෂිතා සමරවික්‍රම

 

මෙම ජයග්‍රහණයන් හි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලබා ගත් පිතිකාරිනිය බවට චමරි අතපත්තු බවට පත් වෙද්දී එහි 2 වැනි ස්ථානය හර්ෂිතා සමරවික්‍රම විසින් හිමිකර ගන්නවා.

ඇය අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද අභිශේක ලබමින් තරග 5ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 140ක්. ඊට අමතර ව එම ලැයිස්තුවේ 3 වැනි ස්ථානයට බංග්ලාදේශයට එරෙහි ව අර්ධ ශතකයක් සමඟින් ඉනිම 5ක දී ලකුණු  91ක් ලබා ගත් විශ්මි ගුණරත්න පත් වෙනවා.

කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ දී කවීෂා දිල්හාරි ලකුණු 59ක් ද සහ අනුශ්කා සංජීවනී ලකුණු 55ක් ද ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ ම දක්ෂතා දක්වන්නේ පිතිකාරිනියක් ලෙසින් ද දක්ෂතා දැක් වු කවීෂා දිල්හාරි. ඇය කඩුලු 9ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානයට ද පත් වෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ලබා ගත් පන්දු යවන්නියන් අතර 2 වැනි ස්ථානයට පත් වෙනනේ උදේශිකා ප්‍රබෝධනී. ඇය කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වන අතර ඊට අමතර ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම හොඳම පන්දු යැවීම වාර්තා කරනනේ 15 හැවිරිදි වියේ පසුවෙන ශෂිනි ගිම්හානි. ඇය මැලේසියා කණ්ඩායමට එරෙහි ව ලකුණු 9කට කඩුලු 3ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කරනවා.

මෙවර තරගාවලියේ දැක් වූ ඉහළ ම දක්ෂතාවන්

201/5: කණ්ඩායමක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ඉන්දියාව විසින් ලබා ගන්නා ලදි. එම තරගයේ ප්‍රතිවාදීන් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

184/4: ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී මැලේසියාවට එරෙහිව ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන ලදි. එය මෙම තරගාවලියේ ඉහළ ම ලකුණු ලැබූ කණ්ඩායම් 3 වැනි ස්ථානයට පත් දක්ෂතාවයි.

332: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති මෙම අවසන් මහා තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩිකාවෝ ලබා ගත් මෙම ලකුණු එකතුව ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ තරගයක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූවා.

ඊට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ මෙවර තරගාවලියේ දී ම ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක් ව වාර්තා කරන ලද ලකුණු 324යි.

144: ශ්‍රී ලංකා කාන්තාවෝ මැලේසියා කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද මෙම ඉනිම මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලැබූ ඉහළ ම ජයග්‍රහණයයි.

එය ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ ද ඉහළ ම ජයග්‍රහණය ලෙසින් සටහන් වූවා.

10 wkts: පාකිස්තාන කණ්ඩායම නේපාලයට එරෙහි ව කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ එවන් දක්ෂතාවක් කළ පළමු කණ්ඩායම බවට පත් වුනා.

166: ශ්‍රී ලංකාව අවසන් තරගයේ දී ඉන්දියාවට එරෙහි ව හඹා ගිය ඉනිම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ වාර්තා අතරට එක් වෙන්නේ අවසන් මහා තරගයක දී හඹාගොස් ජයග්‍රහණය කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන් සතුවයි. ඔවුන් 2016 ලෝක කුසලාන තරගාවලියේ Eden Gardens පිටියේ පැවැති අවසන් මහා තරගයේ දී ප්‍රතිවාදී ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 148 හඹා යමින් එම වාර්තාවේ රැදී සිටියා.

  • ඒ අනුව මෙම හඹා යෑම කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයක දීකණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා. ඊට පෙර එම වාර්තාව සතු ව තිබුණේ 2018 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක් දැවී ගොස් ලබා ගත් ලකුණු 141ක හඹා ගොස් ජයග්‍රහණය කළ බංග්ලාදේශය සතුවයි.
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේමෙම ඉනිම ශ්‍රී ලංකා විස්සයි විස්ස ඉතිහාසයේ හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව ද වූවා. ඊට පෙර ශ්‍රී ලංකාව හඹා ගොස් ජයග්‍රහණය කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූයේ මේ වසරේ අප්‍රේල් මාසයේ දී දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ පැවැති 3 වැනි තරගයේ දී සත්කාරක ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 155 හඹා යෑමයි.

304: චමරි අතපත්තු විසින් මෙම තරගාවලියේ දී තරග 5ක ඉනිම් 5ක දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ ක්‍රීඩිකාවක විසින් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූ අතර එය විස්සයි විස්ස කාන්තා තරග ඉතිහාසයේ ක්‍රීඩිකාවක විසින් එක් තරගාවලියක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාව ද වූවා.

මෙම වාර්තාවේ පළමු අසුන හිමි ව තිබෙන්නේ 2023 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ දී කොදෙව් ක්‍රීඩිකා Hayley Matthews විසින් තරග 3ක ඉනිම් 3ක දී වාර්තා කරන ලද ලකුණු 310යි.

119*: චමරි අතපත්තු විසින් නොදැවී ලබා ගන්නා ලද මෙම ලකුණු 119 ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ ක්‍රීඩිකාවක විසින් ලබා ගන්නා ලද ප්‍රථම ශතකය සේ ම ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.

මෙතෙක් මෙම වාර්තාව සතුව තිබුණේ ඉන්දියාවේ Mithali Raj වෙතයි. ඇය 2018 වසරේ දී මැලේසියා කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 97ක් ලබා ගනිමින් මෙතෙක් එම ලැයිස්තුවේ පළමු වැනියා වී සිටියා.

  • එමෙන් ම මෙම ඉනිම චමරි අතපත්තුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.

ඊට පෙර ඇයගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ 2019 වසරේ දී North Sydney හි දී ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට එරෙහි ව පන්දු 66ක දී ලබා ගන්නා ලද ලකුණු 113යි.

3x50+: මෙවර තරගාවලියේ දී ලකුණු 50ක් ඉක්ම වූ වැඩිම ඉනිම් ප්‍රමාණයක හිමිකාරිනිය වූයේ ද චමරි අතපත්තුයි. ඇයගේ ඉනිම් අතර මැලේසියාවට එරෙහිව වාර්තා කරන ලද ශතකය, අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානයට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 63 සහ අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහි ව වාර්තා කරන ලද ලකුණු 61 ඇතුලත්.

15x6s: තරගාවලියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කරන ලද ක්‍රීඩිකාව වූයේ ද චමරි අතපත්තු.

35x6s: එමෙන් ම තරගාවලියේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක හිමිකාරිනිය වීමට ද ඇය සමත් වූවා.

98: එක් ඉනිමක දී හයේ පහර සහ හතරේ පහර මඟින් ලබා ගත් වැඩිම සංඛ්‍යාවේ වාර්තාව ද චමරි අතපත්තු සතු වූවා. ඇය මැලේසියාවට එරෙහි ව හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමින් මෙම දක්ෂතාව හා එක් වූවා.

10: තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් වෙන්නෙ ඉන්දියාවේ Deepti Sharma.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ කවීෂා දිල්හාරි. ඇය කඩුලු 9ක් දවා ගත් අතර තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානයට පත් වීමට ද ඇය සමත් වුනා.

4/14 (4.0): තරගාවලියේ හොඳම පන්දු යැවීම බංග්ලාදේශයේ Rabeya Khan සතු කරගන්නවා. ඒ තායිලන්තයට එරෙහි ව දක්ෂතා දක්වමිනුයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක ඉහළ ම දක්ෂතා දැක් වූ පන්දු යවන්නිය වූයේ මැලේසියාවට එරෙහි ව ලකුණු 09කට කඩුලු 3ක් දවා ගත් Shashini Gimhani.

47 (4.0): නිමා වූ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීයාවේ වමතින් දඟ පන්දු යැවූ Radha Yadav, ශ්‍රී ලංකා පිතිකාරියන්ගේ දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා. එය කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ප්‍රහාරයකට ලක් වූ පන්දු යවන්නියන් අතර පෙරමුණ ගත් සිදු වීමක් වූවා.

ඊට පෙර මෙම වාර්තාව සතු කරගෙන සිටියේ මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා පිතිකාරිනියන් වෙතින් ම දැඩි ප්‍රහාරයකට ලක් වූ මැලේසියාවේ Aisya Eleesa. ඇය තම පන්දුවාර 4 නිමා කරන්නේ ලකුණු 45ක් ලබා දෙමින්.

122: තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන හොඳම සබඳතාව එක් කරන්නේ ඉන්දියාවේ Shafali Verma සහ Dayalan Hemalatha. ඔවුන් දෙදෙනා මෙම දක්ෂතාව දක්වන්නේ නේපාලයට එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙනුයි.

මෙම දක්ෂතාව ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන හොඳම සබඳතාවන් අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාවයි. එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ 2022 වසරේ දී ඉන්දියාවේ Deepti Sharma සහ Jemimah Rodrigues එක් සිව් වැනි කඩුල්ලට එක් කළ ලකුණු 128යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර තරගාවලියේ එකී දක්ෂතාව දක්වන්නේ චමරි අතපත්තු සහ අනුශ්කා සංජීවනී යි. ඔවුන් දෙදෙනා මැලේසියාවට එරෙහි ව 3 වැනි කඩුල්ලට ලකුණු 115ක් ලබා ගනිමින් එහි අසුන් ගන්නවා.

26x50+: මෙම තරගාවලිය නිමා වන විට ඉන්දියාවේ Smriti Mandhana කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ දී ලකුණු 50ට වැඩියෙන් ලබා ගත් අවස්ථා 26ක් වාර්තා කරමින් එවන් දක්ෂතාවක් කළ ක්‍රීඩිකාවන් අතර  2 වැනි ස්ථානයට පත් වෙනවා.

මෙම වාර්තාවේ මේ දක්වා පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ශතකයක් සහ අර්ධ ශතක 28ක් සමඟින් අවස්ථා 29ක් වාර්තා කළ නවසීලන්තයේ Suzie Bates.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<