ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!

Paris Olympics 2024

3

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ නිල වශයෙන් ක්‍රියාත්මක වූ දෙවැනි දිනය වන ඊයේ (28) දිනය නිමා වන විට පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට ජපානය සමත් වුනා. 

ඊයේ දිනය ශ්‍රී ලංකාවට වඩා වැදගත් දිනයක් වූ අතර, බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්ව නියෝජනය කළ විරේන් නෙත්තසිංහ සිය පළමු තරගයට ඊයේ මුහුණ දුන්නා. කෙසේ වෙතත් ඔහුට එහි ජයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, ඔහුගේ දෙවැනි තරගය හෙට (30) පැවැත්වීමට නියමිතයි. 

එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද (29) දිනයේ දී ගංගා සෙනෙවිරත්න කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්වට සහභාගී වීමට නියමිතයි. 

ඇය මෙම ඉසව්වේ මූලික වටයේ පළමු තරගයට සහභාගී වීමට නියමිත අතර, ඇය අද දහවල් 2.43ට තරගයට සම්බන්ධ වනු ඇති. 

ඊයේ දිනයේ දී ස්පාඤ්ඤයේ Rafael Nadal පිරිමි කේවල ටෙනිස් තරග ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගී වූ අතර, එහි දී ඔහු තරග වට 2-1ක ජයක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම මහා බ්‍රිතාන්‍යයේ Andy Murray ද පිරිමි යුගල ඉසව්වේ මූලික වටය සඳහා සහභාගී වෙමින් ඉන් ජය ලබා ගැනීමට සමත් වුනා. මීට අමතරව ග්‍රීසියේ Stefanos Tsitsipas ද ඊයේ ජයක් ලබා ගත්තා. 

මේ අතර පිරිමි පැසිපන්දු තරග ඉසව්වේ වැඩි අවධානයක් යොමු වී ඇති ඇමරිකානු කණ්ඩායම ඊයේ තරග බිමට පිවිසුණු අතර, ඔවුන් විසින් සිය පළමු තරගයේ දී සර්බියාවට එරෙහිව ලකුණු 110 – 84ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා. 

මේ අතර කාන්තා පැසිපන්දු ඉසව්වේ දී ස්පාඤ්ඤය විසින් ජපානයට එරෙහිව ලකුණු 90-89ක් ලෙස ඉතා තියුණු ජයක් කරා යෑමට සමත් වීමත් සුවිශේෂී සිදුවීමක්. 

කාන්තා පාපන්දු පිටියේ දී ඊයේ දිනයේ සිදු වූ සුවිශේෂීතම සිදුවීම ලෙස ජපානය විසින් බ්‍රසීලයට එරෙහිව ගෝල 2-1ක ජයක් ලබා ගැනීම හඳුන්වා දිය හැකි. 

මීට අමතරව ස්පාඤ්ඤය විසින් නයිජීරියාවට එරෙහිව ගෝල 1-0ක ජයක් ලබා ගැනීමට ද ඊයේ සමත් වුනා. 

මේ අතර කාන්තා සත් සාමාජික රග්බි, කාන්තා සහ පිරිමි හොකී, Handball වැනි ක්‍රීඩා ඉසව් රැසක ද මූලික වටයේ තරග ද ඊයේ ක්‍රියාත්මක වුනා. 

ඊයේ දිනය ඉන්දියාවට ද ඉතා විශේෂ දිනයක් වූ අතර, මෙවර ඔලිම්පික් තරගාවලියේ ඉන්දියාවේ පළමු පදක්කම දිනා දීමට මෙන්ම, මෙතෙක් ඔලිම්පික් ඉතිහාසයේ ඉලක්කයට වෙඩි තැබීමෙන් පදක්කමක් ජයග්‍රහණය කළ පළමු කාන්තාව බවට ද පත් වීමට කාන්තා මීටර් 10 වායු පිස්තෝල ඉසව්ව නියෝජනය කළ Manu Bhakerට හැකියාව ලැබුණා. 

මේ අතර අද අලුයම ක්‍රියාත්මක වූ පිරිමි මීටර් 400 ඉසව්වෙන් නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ප්‍රංශයේ Leon Marchand සමත් වුනා. 

මීට අමතරව කාන්තා මීටර් 100 සමනල ආර ඉසව්ව ඇමරිකාවේ Torri Huske විසින් ජයග්‍රහණය කළ අතර, පිරිමි මීටර් 100 ළය ආර ඉසව්වේ ජයග්‍රහණය ඉතාලියට හිමි වුනා. 

මේ අනුව ඊයේ දිනයට නියමිත ඔලිම්පික් තරග නිමා වන විට රන් පදක්කම් 4ක් සමඟ සමස්ත පදක්කම් 7ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති ජපානය පදක්කම් සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා. එමෙන්ම ඕස්ට්‍රේලියාව ද රන් පදක්කම් 4ක් සමඟ සමස්ත පදක්කම් 6ක් ජයග්‍රහණය කරමින් සටහනේ දෙවැනි තැන රැඳී සිටින අතර, ප්‍රබල ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 3ක් සමඟින් සමස්ත පදක්කම් 12ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ තෙවැනි තැන රැඳී සිටිනවා. 

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<