ශ්‍රී ලංකාවේ නොසිතූ බිඳ වැටීම ඉන්දියාවට ජය ගෙන දෙයි

India Tour of Sri Lanka 2024

2
India Tour of Sri Lanka 2024

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 43ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (27) රාත්‍රියේ සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නව ශ්‍රී ලංකා නායක චරිත් අසලංකගෙන් ඉන්දියාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා ලැබුණා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරු යුගලය වූ Yashasvi Jaiswal සහ Shubman Gill විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

ඩිල්ශාන් මදුශංක විසින් Shubman Gill ලකුණු 34කට දවා ගැනීමට සමත් වූ අතර, ඉන් පසුව වනිඳු හසරංග විසින් ලකුණු 40ක් ලබා සිටි Jaiswal ද දවා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඉන් පසුව කඩුල්ලේ එක් වූ ඉන්දීය නායක Suryakumar Yadav සහ Rishabh Pant විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී Suryakumar Yadav පන්දු 26කින් ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වූ අතර, Rishabh Pant පන්දු 33කින් ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුනා.

ඉන්දීය පිතිකරුවන් සිය 14 වැනි පන්දුවාරය වන විට ලකුණු 150 සීමාව වෙත ළඟා වීමට සමත් වූ නමුත් මේ මොහොතේ ක්‍රියාත්මක වූ මතීෂ පතිරණ විසින් Suryakumar Yadav ඇතුළු ඉන්දීය කඩුලු 4ක් බිඳ හෙළමින් ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩාල කිරීමට සමත් වුනා.

මීට අමතරව වනිඳු හසරංග, ඩිල්ශාන් මදුශංක සහ අසිත ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

කෙසේ වෙතත් අද දිනයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් දැක්වූ දුර්වල පන්දු රැකීම් නිසා ඉන්දියාව ලකුණු 200 සීමාව ඉක්මවා යාමට සමත් වුනා.

ඉන්දියාවෙන් ලද ලකුණු 214ක ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක අතරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සබඳතාවක් ඇති වුනා.

මෙහි දී කුසල් මෙන්ඩිස් විසින් පන්දු 27කින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා පන්දු 14කින් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අතරේ පැතුම් නිස්සංක විසින් පන්දු 48කින් ලකුණු 79ක් ලබා ගැනීමට සමත් වුනා. පැතුම්ගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වුනා.

ශ්‍රී ලංකාව වරෙක පන්දුවාර 14ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 140ක් ලබා ගැනීමට සමත් වී සිටි නමුත් Axar Patel විසින් යොමු කළ 15 වැනි පන්දුවාරයේ දී පැතුම් සහ කුසල් පෙරේරා දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම නොසිතූ ලෙස බිඳ වැටීමට පටන් ගත්තා.

ඒ අනුව පන්දුවාර 19 පන්දු 2ක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් සියල්ලන් ම දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 170ක් පමණයි. මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 9ම ලකුණු 30ක් තුළ දැවී යාම තරගයේ තීරණය වෙනස් කිරීමේ ප්‍රධානතම සාධකය වූ බව වටහා ගත හැකි.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Riyan Parag කඩුලු 3ක් දවා ගන්නා අතරේ, Arshdeep Singh සහ Axar Patel කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

තරගාවලියේ දෙවැනි විස්සයි විස්ස තරගය හෙට (28) පැවැත්වීමට නියමිතයි.

ඉන්දු – ලංකා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<