ඔලිම්පික් සමාරම්භක උළෙල Seine ගඟ දිගේ වර්ණවත්ව ඉදිරියට ඇදෙයි!

Paris Olympics 2024

4
Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙල ඊයේ (26) රාත්‍රියේ නිල වශයෙන් ආරම්භ වුනා.

ඉතිහාසයේ මෙතෙක් කල් පැවැත්වුණු සෑම ඔලිම්පික් සමාරම්භක උළෙලක් ම ක්‍රීඩාංගණයක් තුළ සිදු වුනත්, මෙවර එහි වෙනසක් සිදු කරමින් පැරීසියේ Seine ගඟ දිගේ සමාරම්භක උළෙලට සහභාගී වන කණ්ඩායම් සිය රටේ ජාතික ධජය ද සමඟින් යාත්‍රා කිරීම විශේෂ සිදුවීමක්.

ඒ අනුව ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද Seine ගඟ දිගේ ජාතික ධජය ද රැගෙන යාත්‍රා කෙරුණු අතර, මෙම අවස්ථාවට ලෝ ප්‍රකට තරු රැසක් ද සහභාගී වීම විශේෂත්වයක්.

ප්‍රකට ගායිකා Lady Gaga උළෙල වර්ණවත් කරමින් විශේෂ අංගයක් ඉදිරිපත් කළ අතර, ඔලිම්පික් පහළ දැල්වීම වෙනුවෙන් හිටපු ප්‍රංශ පාපන්දු නායක Zinedine Zidane විසින් ආරම්භය ලබා ගත් අතර, පසුව ඔහු විසින් එය ස්පාඤ්ඤයේ Rafael Nadal වෙත බාර දුන්නා. පසුව Nadal සමඟ එක් වූ Serena Williams, Carl Lewis සහ Nadia Comaneci විසින් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන Seine ගඟ දිගේ යාත්‍රා කළ අතර පසුව එය ප්‍රංශ ටෙනිස් ක්‍රීඩිකා Amelie Mauresmo වෙත බාර දුන්නා.

අවසාන වශයෙන් එය Teddy Riner සහ Marie Jose Perec වෙත ලැබුණු අතර, ඔවුන් විසින් නිල වශයෙන් ඔලිම්පික් පහන දැල්වීම සිදු කළා.

මෙහි දී මෙම පහන දැල්වීමත් සමඟ එයට සම්බන්ධ කර තිබූ වායු බැලුනය කෙමෙන් කෙමෙන් පැරිස් අහස වෙත ඇදී ගියා. මේත් සමඟින් ම ප්‍රකට ගායිකා Celine Dion විසින් උළෙල අලංකාර ගීයකින් වර්ණවත් කිරීමත් සුවිශේෂී අත්දැකීමක් වුනා.

පැරිස් ඔලිම්පික් උළෙල ඒ අයුරින් ආරම්භ වූ අතර, තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම ක්‍රියාත්මක වූ තරග ඉසව් වූ පාපන්දු, සත් සාමාජික රග්බි සහ ඉලක්කයට වෙඩි තැබීමේ මූලික වටයේ තරග ඉසව් කිහිපයක් ද ඊයේ ක්‍රියාත්මක වුනා.

මේ අතර අද දිනයේ පටන් තරගාවලියේ තවත් ඉසව් රැසක් ක්‍රියාත්මක වීම ආරම්භ වන අතර, ඒ අතරට බැඩ්මින්ටන්, පිහිනුම්, ජූඩෝ, වොලිබෝල් වැනි ක්‍රීඩා ඉසව් රැසක් එක් වනවා. මෙහි දී ශ්‍රී ලංකාවේ පළමු ඔලිම්පික් බලාපොරොත්තුව වන විරේන් නෙත්තසිංහ ද හෙට (28) දිනයේ සිය ඉසව්වට සහභාගී වීමට සූදානමින් පසුවනවා.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>