ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

Women’s T20 Asia Cup

5

පළමු වැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශයට එරෙහි ව කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේ 5 වැනි වරටත් අවසන් මහා තරගයට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

මීට පෙර ඉන්දීය ක්‍රීඩිකාවෝ ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරග පැවැති 2012, 2016, 2018 සහ 2022 වසරවල දී අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඉන් 2018 වසරේ දී අනුශූරියන් වන ඔවුන් අනෙකුත් වසර ත්‍රිත්වයේ දී ම ශූරියන් බවට පත් වීමට සමත් වෙනවා.   

අද (26) පස්වරුවේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 80ක් ලබා ගත් අතර එම ඉලක්කය ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩිකාවෝ කිසිදු කඩුල්ලක් නොමැති ව පසු කරන්නේ තවත් පන්දුවාර 9ක් ම ඉතිරි ව තිබියදීයි.  

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකාව තීරණාත්මක තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. නමුත් ඔවුන්ගේ එම අභිප්‍රාය සාර්ථක එකක් වූයේ නැහැ.  

ඔවුන්ට රිසි සේ පන්දුවට පහර දීමට හැකියාව තිබූ පළමු Power Play අවස්ථාවේ දී ද ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 25ක් පමණයි. ඒ වෙද්දී ඔවුන් කඩුලු 3ක් ද අහිමි කර ගෙන සිටියා.  

බංග්ලදේශ ඉනිමේ 7 වැනි කඩුල්ල සඳහා නායිකා Nigar Sultana සහ Shorna Akter එක් ව එකතු කරන ලද ලකුණු 36 නොවන්නට ඔවුන්ගේ මෙම ඉනිම මීට වඩා දුර්වල වන්නට ඉඩ තිබුණා.  

එහි දී  Nigar Sultana පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර Shorna Akter ලබා ගත් ලකුණු සංඛ්‍යාව නොදැවී 19ක්. ඒ වෙනුවෙන් ඇය පන්දු 18කට මුහුණ දී හතරේ පහර 2ක් ද ඊට එක් කර ගත්තා. 

තායිලන්ත ඉනිමේ පිටියට පිවිසි අනෙකුත් සෑම ක්‍රීඩිකාවක් ම ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවට මෙපිටින් හරවා යැවීමට ඉන්දීය පන්දු යන්නියෝ සමත් වූවා.  

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ දකුණතින් ආරම්භක මඳ වේග පන්දු යැවූ Renuka Singh. ඇය බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය පළමු කඩුලු ත්‍රිත්වය ම දවා ගන්නේ ලකුණු 10ක් පමණක් ලබා දෙමින්.  

එම දක්ෂතාවත් සමඟින් ඇය තම 46ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ කඩුලු 50 කඩඉමට එක් වීමට ද සමත් වුනා.  

ඊට අමතර ව වමතින් දඟ පන්දු යැවූ Radha Yadav ද ඇයට අනගි සහයෝගයක් ලබා දුන්නා. ඇය බංග්ලාදේශ ඉනිම අවසන් වන විට ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Deepti Sharma සහ Pooja Vastrakar කඩුල්ල බැගින් දවා ගත්තා. 

ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළේ  Shafali Verma සහ Smriti Mandhana විසින්. ඔවුන් දෙදෙනා තරගයේ ආරම්භයේ සිට ම ප්‍රවේගවත් පිතිහරඹයක නිරත වූනේ බංග්ලාදේශ පන්දු යවන්නියන් තඹේකටවත් මායිම් නොකරමින්.  

ඒ අනුව ඔවුන් තම පළමු ලකුණු 50 පන්දු 43ක දී වාර්තා කරන ලද අතර තරගයේ ඉලක්කය වූ ලකුණු 80 අභිබවා යෑම පන්දු 67කට පමණක් මුහුණ දෙමින් සපුරා ගත්තා.  

එහි දී Smriti Mandhana පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා ගත්තා. මෙම අර්ධ ශතකය ඇයගේ 140ක් වන  විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල 25 වැනි අර්ධ ශතකයයි.  

අනෙක් ආරම්භක පිතිකාරිනී Shafali Verma පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 80 (20.0) Nigar Sultana 32, Shorna Akter නොදැවී 19, Renuka Singh 3/10, Radha Yadav 3/14 

 

ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කිසිවෙක් නොදැවී 83 (11.0) Shafali Verma නොදැවී 26, Smriti Mandhana නොදැවී 55,  

 

ඉන්දීය කණ්ඩායමට කඩුලු 10ක ජයක්.  

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Renuka Singh (ඉන්දියාව)

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<