ඔලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකා අභිමානය

Paris Olympics 2024

1
Best sri lankan players in olympics history

වසර 128ක් ඉපැරණි අතීතයක් හිමි නූතන ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව මෙතෙක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙන්නේ රිදී පදක්කම් ද්විත්වයක් පමණයි.

1948 දී ඩන්කන් වයිට් විසින් පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමෙන් පසුව, 2000 වසරේ දී සුසන්තිකා ජයසිංහ විසින් කාන්තා මීටර් 200 ඉසව්වෙන් තවත් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඊට අමතරව මෙතෙක් ඔලිම්පික් ඉතිහාසයේ කැපී පෙනෙන ශ්‍රී ලංකා ක්‍රීඩක/ක්‍රීඩිකා දක්ෂතා කිහිපයක් ද හඳුනාගත හැකි. මේ එවන් දක්ෂතා කිහිපයක් පිළිබඳ සැකෙවින් ඔබේ මතකය අවදි කිරීමට කරනා උත්සාහයක්.

ඩන්කන් වයිට්

1948 ඔලිම්පික් උළෙලේ දී පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව තත්පර 51.8ක කාලයක් සමඟ නිමා කිරීමට සමත් වූ ඩන්කන් වයිට් විසින් ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, ඔලිම්පික් උළෙලක ජවන සහ පිටිය ඉසව්වල දී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූ දෙවැනි දකුණු ආසියාතිකයා (පළමු වැන්නා ඉන්දියාවේ Norman Pritchard) බවට පත් වීමට ඔහු සමත් වුනා.

මීට අමතරව ඩන්කන් වයිට් විසින් 1950 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී යාර 440 කඩුලු මතින් දිවීම ඉසව්වේ රන් පදක්කම ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

සුසන්තිකා ජයසිංහ

ඔලිම්පික් ඉතිහාසයේ ජවන සහ පිටිය ක්‍රීඩා ඉසව්වලින් පදක්කමක් ජයග්‍රහණය කළ තෙවැනි දකුණු ආසියාතිකයා බවට පත් වීමට සුසන්තිකා ජයසිංහ 2000 වසරේ දී සමත් වුනා.

2000 ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 200 ඉසව්ව නියෝජනය කළ සුසන්තිකා විසින් එම ඉසව්ව අවසන් තරගය තත්පර 22.28ක කාලයක් සමඟ නිමා කිරීමට සමත් වූ අතර, ඇයට එහි තෙවැනි ස්ථානය හිමි වුනා. කෙසේ වෙතත් මෙම ඉසව්වේ පළමු ස්ථානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ඇමරිකානු ක්‍රීඩිකා Marion Jones හට පසු කාලීන ව එල්ල වූ තහනම් උත්තේජක චෝදනාවත් සමඟ ඇයට ඉසව්වේ රන් පදක්කම අහිමි වූ අතර, දෙවැනි ස්ථානයේ රැඳුණු බහමාස් හි Pauline Davis-Thompsonට පළමු ස්ථානය හිමි වූ අතර, සුසන්තිකා ජයසිංහට ඉසව්වේ රිදී පදක්කම හිමි වුනා.

මීට අමතරව සුසන්තිකා ජයසිංහ විසින් 2008 ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 200 ඉසව්වේ ද අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම ඇය 2000 ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්වේ ද අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වුනා.

චින්තන ගීතාල් විදානගේ

2006 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දී බර ඉසිලීමෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කළ චින්තන ගීතාල් විදානගේ 2008 ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වූ බව ඔබටත් මතක ඇති.

පිරිමි 69Kg බර පන්තිය යටතේ තරග වැදුණු චින්තන විසින් මෙම ඉසව්වේ දී සමස්ත බර 293kg ඔසවමින් 14 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.

අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 2004 ඔලිම්පික් මැරතන් ධාවන ඉසව්වට සහභාගී වෙමින් පැය 2.19.34ක කාලයක් සමඟ ඉසව්වේ 30 වැනි ස්ථානය ලබාගන්න සමත් වුනා.

එමෙන්ම 2012 වර්ෂයේ දී නැවතත් ඔහු ඔලිම්පික් සුදුසුකම් ලබා ගනිමින් 55 වැනි ස්ථානයට පත් වුනා. ඔලිම්පික් මැරතන් ඉසව් පිළිබඳ මතකය අවදි කරද්දී අනුරාධගේ නම ශ්‍රී ලාංකිකයින්ට නිතැතින් ම මතක් වෙන නමක්.

සුගත් තිලකරත්න

සුගත් තිලකරත්නගේ නම පිළිබඳව මුලු ලෝකයේ ම අවධානය යොමු වීමට ප්‍රධානතම හේතුවක් ලෙස 1996 Atlanta ඔලිම්පික් උළෙල හඳුන්වා දිය හැකි.

මෙම තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ 05 වැනි මූලික වටයේ තරගයේ දී ලෝක ශූර Michael Jhonsonව දෙවැනි ස්ථානයට ඇද දැමූ සුගත් තිලකරත්න එම ඉසව්ව ජයග්‍රහණය කරන්න සමත් වුනා. ඉතා පහසුවෙන් Jhonson විසින් ජයග්‍රහණය කරතැයි බලාපොරොත්තු වූ ඉසව්වක් කිසිවකු හෝ බලාපොරොත්තු නොවුනු පරිදි මෙම ශ්‍රී ලාංකිකයා ජය ගැනීම තරමක වෙනස් අත්දැකීමක් වුනා. කෙසේ වෙතත් සුගත්ගේ 96 ඔලිම්පික් ගමන ඉසව්වේ අර්ධ අවසන් වටයෙන් නිමා වුනා. අවසානයේ සියල්ලන් ම බලාපොරොත්තු වූ පරිදි Michael Jhonson නව ඔලිම්පික් වාර්තාවක් සමඟින් ම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළා.

සුගත් 2000 ඔලිම්පික් උළෙලේ දීත් මීටර් 400 ඉසව්වේ දෙවැනි වටය දක්වා ඉදිරියට යෑමට සමත් වුනත් ඔහුට ඉන් එහා කඩඉම් තරණය කිරීමට නොහැකි වුනා. කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ඔලිම්පික් උළෙලක ලස්සන මතකයක් නිර්මාණය කරන්න සුගත්ට හැකියාව ලැබීම විශේෂත්වයක්.

රණතුංග කරුණානන්ද

ඔලිම්පික් ගැන කතාකරද්දී කරුණානන්ද කියන නම කොහොම කියලා අමතක කරන්නද?

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී පිරිමි මීටර් 10000 ඉසව්ව නියෝජනය කළ කරුණානන්ද විසින් එම ඉසව්ව ජයග්‍රහණය කළ ඇමරිකානු ක්‍රීඩක Billy Millsට වඩා වට හතරක් පමණ පසු පසිනුයි පසුවුනේ. ඉසව්වට සහභාගී වූ තරගකරුවන් 38 දෙනෙක් අතරින් 09 දෙනෙකු ම තරගය අවසන් නොකර ම ධාවන මංතීරුවෙන් ඉවත් වන අතරේ, කරුණානන්ද පමණක් තනිවම තමන්ගේ ධාවන වට ප්‍රමාණය සම්පූර්ණ කළා. මේ සිදුවීම ඔලිම්පික් ප්‍රේක්ෂකාගාරයට මුලින් ම තරමක හාස්‍ය දනවන සිදුවීමක් වුනත් පසුව ඔවුන් පවා කරුණානන්ද වෙනුවෙන් අත්පොළසන් නගන්නට පෙලඹුණේ ඔහුගේ අප්‍රතිහත ධෛර්යය අගය කිරීමක් ලෙසයි. ශ්‍රී ලාංකේය ඔලිම්පික් වංශ කතාවේ පදක්කමක් නොලබා ක්‍රීඩකයෙකු ලද ඉහළම ගෞරවයක් ලබා ගැනීමට එදා කරුණානන්ද ට හැකියාව ලැබුණා.

දමයන්ති දර්ෂා, ශ්‍රියානි කුලවංශ සහ ජූලියන් බෝලිං

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් නියෝජනයන් පිළිබඳ සඳහන් කරනා විට ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය හැඩ කිරීමට සමත් වූ දමයන්ති දර්ෂා සහ ශ්‍රියානි කුලවංශ යුගලය පිළිබඳවත් අමතක කළ නොහැකියි. 2000 ඔලිම්පික් උළෙලේ දී දර්ෂා විසින් කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කළ අතර, ශ්‍රියානි විසින් 1992 ඔලිම්පික් උළෙලේ දී කාන්තා උස පැනීම නියෝජනය කළ අතර 1996 ඔලිම්පික් උළෙලේ දී කාන්තා මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්වෙන් අර්ධ අවසන් පූර්ව වටයට දක්වා පිවිසීමට ද සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලාංකේය අතීත පිහිනුම් ශූරයකු වූ ජූලියන් බෝලිං ද 1988 ඔලිම්පික් උළෙලේ දී පිරිමි මීටර් 400 පිහිනුම් ඉසව්ව නියෝජනය කළා.

නාගලිංගම් එදිරිවීරසිංහම්

මෙම වසරේ අප්‍රේල් 18 වැනි දා වයස අවුරුදු 90ක් ආයු වළඳා සිය දිවි ගමනට සමු දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා විසින් 1952 සහ 1956 ඔලිම්පික් උළෙල ද්විත්වයේ දීම පිරිමි උසපැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගත්තා.

එමෙන්ම 1956 ඔලිම්පික් උළෙලේ දී ඔහු විසින් සිය ඉසව්වේ අවසන් තරගයට ද සහභාගී වීමට සමත් වුනා.

මේ නිසාම ශ්‍රී ලාංකේය ඔලිම්පික් ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේ දී නාගලිංගම් එදිරිවීරසිංහම් යන නම ද පහසුවෙන් අත් හැර දැමිය නොහැකියි.

මෙසේ ඇදී ආ ශ්‍රී ලාංකේය ඔලිම්පික් ඉතිහාස කතාවේ තවත් පරිච්ඡේදයක් අද (26) දිනයෙන් ආරම්භ වීමට නියමිත අතර, එම තොරතුරු සියල්ලක් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානමින් පසු වනවා.

රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<