ඔලිම්පික් ආරම්භයේ ම නව ලෝක වාර්තාවක්!

Paris Olympics 2024

2
Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මූලික වටයේ තරග කිහිපයක් ඊයේ (25) දිනයේ ද ක්‍රියාත්මක වුනා.

පාපන්දු

ඊයේ දිනයේ පැවැත්වුණු පිරිමි අංශයේ පාපන්දු තරගයක දී ප්‍රංශය විසින් ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ගෝල 3-0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම කාන්තා පාපන්දු තරගවල දී  කැනඩාව නවසීලන්තයට එරෙහිවත්, ස්පාඤ්ඤය ජපානයට එරෙහිවත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතරම ප්‍රබල බ්‍රසීල කාන්තා කණ්ඩායම සහ ජර්මානු කාන්තා කණ්ඩායම ද ඊයේ නයිජීරියාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

සත් සාමාජික රග්බි

ඊයේ පැවැත්වුණු රග්බි තරගවල දී ෆීජි දේශය ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිවත්, අයර්ලන්තය ජපානයට එරෙහිවත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන්ම දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ දී ලද දෙවැනි පරාජයටත් මුහුණ දුන් අතර, මෙවර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වුනේ ප්‍රබල නවසීලන්ත කණ්ඩායමයි.

එමෙන්ම ඕස්ට්‍රේලියාව විසින් ආජන්ටිනාවට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ අතර, සැමෝවා දේශය කෙන්යාවට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කළා.

මේ අතර ඊයේ සවස් වරුවේ දී ෆීජී දේශය විසින් ප්‍රබල ප්‍රංශ කණ්ඩායම පරාජය කිරීමට සමත් වූ අතර, ජපානයට දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමට සිදු වුනා. මීට අමතරව නවසීලන්තය විසින් අයර්ලන්තය පරාජය කිරීමට ද ඊයේ සමත් වුනා.

මීට අමතරව ඊයේ දිනයේ දුනු විදීම සහ Handball ක්‍රීඩා ඉසව්වල ද මූලික වටයේ තරග ආරම්භ වූ අතර, මෙහි දී කාන්තා ඒකල දුනු විදීම ඉසව්වේ මූලික වටයට සහභාගී වූ ලෝක කාන්තා දුනු විඳීමේ ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයේ රැඳෙන දකුණු කොරියාවේ Lim Sihyeon විසින් එම ඉසව්වේ දී ලබා ගත හැකි ඉහළම ලකුණු ප්‍රමාණය වන ලකුණු 720න් 694ක් ලබා ගනිමින් නව ලෝක සහ ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල අද (26) රාත්‍රියේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට අමතරව අද දිනයේ ද පාපන්දු, සත් සමාජික රග්බි තරග ඉසව් මෙන්ම ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව් ද පැවැත්වෙනු ඇති.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<