ශ්‍රී ලංකා යෞවනියන්ගේ අපරාජිත ගමන අවසන් තරගයේ දී නතර වෙයි

CAVA U20 Women's Volleyball Championship 2024

1
CAVA U20 Women's Volleyball Championship 2024

මාලදිවයිනේ පැවැත්වුණු මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (23) සිදු වුනා.

පසුගිය 18 වැනි දා ආරම්භ වූ තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව විසින් තරගාවලියට සහභාගී වූ අනෙක් කණ්ඩායම් තුන සමඟම තරග වැදුණු අතර එහි දී ඔවුන් එම තරග සියල්ලම ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටය වෙත පහසුවෙන් ම සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

නේපාලය සහ ශ්‍රී ලංකාව

තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය වූ මෙම තරගයෙන් නේපාලයට එරෙහිව තරග වට 3-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

20-25, 26 -24, 11-25 සහ 18 – 25ක් ලෙස මෙම තරගයේ ලකුණු සටහන් වුනා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින

මෙම තරගයෙන් සත්කාරක මාලදිවයිනට එරෙහිව තරග වට 3-0ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

9-25, 9 – 25, 10 – 25ක් ලෙස තරගයේ ලකුණු සටහන් වුනා.

ශ්‍රී ලංකාව සහ කිර්ගිස්තානය

තරගාවලියේ පැවැත්වුණු වඩාත් තරගකාරී ම තරගය වූ මෙය තරග වට පහක් දක්වා ම ඇදී ගියා. තරගයේ පළමු තරග වටය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කළ අතර, ඉන් පසුව කිර්ගිස්තානය විසින් තරග වට ද්විත්වයක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් නැවතත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව අවසන් තරග වට ද්විත්වය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

25 – 16, 19 – 25, 24 – 26, 25 -27, 15 – 10ක් ලෙස මෙම තරගයේ ලකුණු සටහන් වුනා.

අවසන් පූර්ව තරගය

තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාවට නැවතත් වරක් මාලදිවයින් කණ්ඩායම මුණ ගැසුණු අතර, මෙවරත් ඔවුන් ඉතා පහසුවෙන් මාලදිවයින පරාජය කිරීමට සමත් වුනා.

25 – 9, 25 – 8, 25 – 7ක් ලෙස ලකුණු සටහන් වූ මෙම තරගය මිනිත්තු 50ක් වැනි ඉතා සුළු කාලයක් තුළ නිමා වීම විශේෂ සිදුවීමක්.

ඒ අනුව මූලික වටයේ ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සහ දෙවැනි ස්ථානය හිමි කරගත් කිර්ගිස්තානය නැවතත් අවසන් මහා තරගයේ දී මුණ ගැසුණා.

තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් ද්විත්වය වූ මෙම දෙරට අතර මූලික වටයේ පැවැත්වුණු තරගය ද ඉතා තරගකාරී එකක් වූ නිසා අවසන් තරගයත් ඒ අයුරින් ම ගලා යනු ඇති බව අනුමාන කළ හැකි වුවත් මෙහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් යම් පසුබෑමක් පෙන්නුම් කළා.

අවසන් තරගය

මෙම තරගයේ පළමු වටය ලකුණු 26 – 28ක් ලෙස තියුණු සටනකින් අනතුරුව කිර්ගිස්තානය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, දෙවැනි තරග වටයත් ඔවුන් ලකුණු 17 – 25ක් ලෙස ජයග්‍රහණය කළා. එමෙන්ම තෙවැනි තරග වටයේ දී ද ඔවුන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කිසිදු ගැලවුමක් නොවුණු අතර එම තරග වටය ලකුණු 19 – 25ක් ලෙස නිමාව දුටුවේ තරගාවලියේ ශූරතාව කිර්ගිස්තානය විසින් හිමි කර ගනිමිනුයි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කනිෂ්ඨ වොලිබෝල් කණ්ඩායමට තරගාවලියේ රිදී පදක්කමින් සෑහීමකට පත් වීමට සිදුවුනා.

දේශීය වොලිබෝල් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත්වොලිබෝල්පුවත්සඳහාපිවිසෙන්න<<