ඉන්දියාව අපරාජිතව අවසන් පූර්ව වටයට

2
Women’s T20 Asia Cup - India Vs Nepal

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුනා. ඔවුන් මෙම අවස්ථාව සපුරා ගත්තේ අද (23) නේපාලය සමඟින් පැවැති තරගයේ දී ලකුණු 82ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ 10 වැනි තරගය ලෙසින් රාත්‍රියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් දැවී ලකුණු 178ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් නේපාල ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 96ක් පමණයි.

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායිකාව විසින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට ද ඇය සමත් වුනා. ඉන්දීය ඉනිම ආරම්භ කළ Shafali Verma සහ Dayalan Hemalatha එක් ව පළමු කඩුල්ලට ලකුණු 122ක සබඳතාවක් එක් කරමින් ඇයගේ තීරණයට සාධාරණයක් ඉටු කළේ නේපාල පන්දු යවන්නන් අන්ඩුමට්ටු කරමිනුයි. ඔවුන්ගේ මෙම ශතක සපිරි සබඳතාව සඳහා වැය වුණේ පන්දු 84ක් පමණයි.

ඔවුන් දෙදෙනා විසින් වාර්තා කරන ලද පළමු ලකුණු 50 පන්දු 35ක දී සහ දෙවැනි ලකුණු 50 තවත් පන්දු 28ක් තුළ දී රැස් කිරීමට සමත් වෙනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් Dayalan Hemalatha පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා සිටිය දී දැවී යන්නේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හොඳම ඉනිම ද ක්‍රීඩා කරමිනුයි.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 9 වැනි පන්දුවේ දී Shafali Verma ගේ ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ලබා සිටියා. එය ඇයගේ තරග 79ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 10 වැනි අර්ධ ශතක ඉනිම වූ අතර ලබා ගත් ලකුණු 81 විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිම බවට ද පත් වුනා.

ඔවුන් දෙදෙනාට අමතර ව Jemimah Rodrigues ද පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Sita Rana Magar ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත් අතර අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය Kabita Joshi සතු වුනා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නේපාල ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 21ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත් වෙනවා. අනතුරු ව තෙවැනි කඩුල්ලට පන්දු 28ක් තුළ ලකුණු 22ක සබඳතාවක් ගොඩ නැගීමට Sita Rana Magar සහ නායිකාව වූ Indu Barma (14) සමත් වෙනවා. එය නේපාල ඉනිමේ කඩුලු අතරට එක් වූ ඉහළ ම ලකුණු සබඳතාවයි.

නේපාල ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය වූයේ පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ Sita Rana Magar. ඇය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා ගන්නවා. ඊට අමතර ව Bindu Rawal ඉනිම අවසන් වන විට පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ද සහ Rubina Chhetry පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී  Deepti Sharma ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් නේපාලයේ ප්‍රධාන ප්‍රතිවාදීයා වෙද්දී Radha Yadav සහ Arundhati Reddy කඩුලු 2ක් බැගින් ද Renuka Singh කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 178 (20.0) Shafali Verma 81, Dayalan Hemalatha 47, Jemimah Rodrigues 28, Sita Rana Magar 2/25

නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 96 (20.0) Sita Rana Magar 18, Bindu Rawal  නොදැවී 17, Arundhati Reddy 2/28,  Deepti Sharma 3/13, Radha Yadav 2/12

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 82ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Shafali Verma (ඉන්දියාව)

මෙම තරගයත් සමඟින් ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ පළමු වටයේ තරග අවසන් වූ අතර ඒ අනුව ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත් ඉන්දියාව පළමු ස්ථානයේ සිටිමින් ද සහ ප්‍රසාද ලකුණු 4ක් ලබා ගත් පාකිස්තානය 2 ස්ථානයේ සිටිමින් ද අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට වරම් ලබා ගත්තා.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<