පාකිස්තානය අවසන් පූර්ව වටයේ දොරටුව අභියස

Women’s T20 Asia Cup

11
Women’s T20 Asia Cup

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් වූ Gull Feroza සහ Muneeba Ali එක් ව ගොඩනැගූ සටන්කාමී ඉනිමත් සමඟින් 2024 ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දොරටුව අභියසට පාකිස්තාන කණ්ඩායම පැමිණියා.

ඔවුන්ට එම වටය හිමි වීමේ හෝ අහිමි වීමේ තීරණය පවතින්නේ ඉන්දියාව සහ නේපාලය අතර පැවැත්වෙන තරගයේ විසඳුමත් සමඟයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ 9 වැනි තරගය ලෙසින් අද (23) පස්වරුවේ ක්‍රියාත්මක වූ පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම් අතර පැවැති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.

මෙම තරගයේ දී පළමු වෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 103ක් ලබා ගත් අතර එම ඉලක්කය පාකිස්තාන ක්‍රීඩිකාවෝ සපුරා ගන්නේ කිසිවෙක් නොදැවී තවත් පන්දු 35ක් ද ඉතිරි කරගනිමිනුයි.

ඔවුන්ගේ මෙම ජයග්‍රහණය ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරග ඉතිහාසයේ කඩුලු 10කින් ජයග්‍රහණය ලැබූ පළමු තරගය බවට ද පත් වූවා.

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායිකාවගේ ආරාධනාව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩිකාවන්ගේ ඉනිම එතරම් ම සුබවාදී වූයේ නැහැ.

පළමු කඩුල්ල සඳහා නායිකා Esha Oza සහ Theertha Satish එක් ව ලකුණු 29ක් ලබා ගත්ත ද එය එතරම් ම සාර්ථක ආරම්භයක් වූයේ නැහැ. ඔවුන්ට ඒ සඳහා පන්දු 41ක් වැය වෙනවා. එම සබඳතාව බිඳී යන්නේ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් සිටි Esha Oza දැවී යෑමත් සමඟයි.

Theertha Satish පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය ලෙසින් සිව් වැනි කඩුල්ලට දැවී යනවා. ඒ වෙද්දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු පුවරුව ලකුණු 74 නැවතී තිබූණා.

එතැන් සිට පිටියට පිවිසි ක්‍රීඩිකාවන් අතුරින් Khushi Sharma පන්දු 13ක දී ලකුණු 12ක් ලබා ගන්නා ලද අතර අනෙකුත් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට යෑමට හැකි වන්නේ නැහැ.

එහි දී Sadia Iqbal, Tuba Hassan සහ Nashra Sandhu කඩුලු ද්විත්වය බැගින් ලබා ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩිකාවෝ අමාරුවේ දමනු ලැබූ අතර Nida Dar ද කඩුල්ලක් දවා ගනිමින් ඊට එක් වූවා.

පාකිස්තාන පිළිතුරු ඉනිම ආරම්භ කළ Gull Feroza සහ Muneeba Ali එක් ව පන්දු 85ක් පමණක් වැය කරමින් ප්‍රතිවාදී ඉලක්කය පසු කිරීමට සමත් වීම කැපී පෙණුනා. එහි දී Gull Feroza පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ද සහ Muneeba Ali පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද ලබා ගත්තා.

එම ඉනිම් අතුරින් Gull Feroza අද රැස් කළේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 12ක හොඳම ඉනිමයි.

පාකිස්තාන ඉනිම පාලනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය නායිකාව පන්දු යවන්නෝ 7 දෙනෙක් ම කැඳවූව ද ඔවුන් කිසිවෙක්ටත් Gull Feroza සහ Muneeba Ali හමුවේ සාර්ථක වීමට හැකි වූයේ නැහැ.

තරගයේ කෙටි ලකුණු පුවරුව

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 103 (20.0) Theertha Satish 40, Sadia Iqbal 2/11, Nashra Sandhu 2/22, Tuba Hassan 2/17

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කිසිවෙක් නොදැවී 107 (14.1) Gull Feroza නොදැවී 62, Muneeba Ali නොදැවී 37

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Gull Feroza (පාකිස්තානය)

මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟින් පාකිස්තානය A කාණ්ඩයේ කණ්ඩායම් අතුරින් ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයට පත් විමට සමත් වූවා. ඔවුන් මේ වන විට පළමු වටයේ සියලු තරගවලට සහභාගී වෙමින් තරග 2ක් ජයග්‍රහණය කරමින් සහ තරගයක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු 4ක් සහ ලකුණු ලබා ගැනීමේ දළ වේගය 1.102ක් ලෙස රඳවා ගනිමින් එම ස්ථානයට පත් ව සිටිනවා.

අද පැවැත්වෙන අනෙක් තරගයට එක් ව සිටින ඉන්දියාව මේ වන විට මෙම කාණ්ඩයේ පළමු ස්ථානයේ රැදී සිටින අතර ඔවුන් සමඟින් තරගයට එක් ව සිටින නේපාලය තෙවැනි ස්ථානයේ පසු වෙනවා.

නේපාලයට මෙම ලැයිස්තුවේ පාකිස්තානය අභිබවා යෑමට නම් ඉන්දියාව සමඟ තරගය අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු මෙන් ම ඉහළ දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් ද පවත්වා ගත යුතුයි.

මෙම තරගය හා එක් වෙද්දී නේපාලය ලබා සිටියේ -0.819ක දළ වේගයක්.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<