බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්

2
Women’s T20 Asia Cup - Bangladesh Vs Thailand

Rabeya Khan ගේ පන්දු යැවීමේ දක්ෂතාත් සහ Murshida Khatun ගේ පිතිකරණයේ දක්ෂතාත් හේතුවෙන් ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් තායිලන්තයට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ අද (22)  සමත් වුනා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ 8 වැනි තරගය ලෙසින් අද රාත්‍රී පැවැති මෙම තරගයෙන් පළමු වෙන් පන්දුවට පහර දුන් තායිලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 9ක දැවී ලකුණු 96ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය තරගය නිමා වීමට තවත් පන්දු 15ක් ඉතිරි ව තිබිය දී ජයග්‍රාහී කඩඉම පසු කරන්නේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනුයි.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ තායිලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ වාසිය තමන් සතු කර ගනිමින් පිටියට පිවිසි නමුත් ඔවුන් ගත් එම තීරණය ගැන පසුතැවීම විනා වෙන දෙයක් කිරීමට ඔවුන්ට තිබුණේ නැහැ.

පළමු පන්දුවාර 6 තුළ ම ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 25ක් පමණක් වීම කැපී පෙණුනා. කෙසේ වෙතත් එම අවස්ථාව වන විට එකඳු කඩුල්ලක් හෝ බිලි ගැනීමට ප්‍රතිවාදීන්ට අවකාශ නොදීමට ඔවුන්ට හැකි වුණා.

එම කඩඉම නිමා වෙමින් යැවුණ සිව් වැනි පන්දුවේ දී තායිලන්ත ඉනිමේ පළමු කඩුල්ල අහිමි වුනා. ඒ වෙද්දී ඔවුන් ලබා සිටියේ ලකුණු 26ක් පමණයි.  අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී ද කඩුල්ලක් දවා ගන්නා බංග්ලාදේශයේ පා දඟ පන්දු යැවූ Rabeya Khan තම තරගයේ පන්දු යැවීම නිමා කරන්නේ ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමිනුයි.

තායිලන්ත ඉනිමේ පිතිකාරිනියෝ 8 දෙනෙක් ම ලකුණු 10කට මෙපිට සිටිමින් තම ඉනිම් අවසන් කරද්දී ආරම්භක පිතිකාරිනී Nattaya Boochatham පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් රැස් කිරිමට සමත් වූවා.

ඊට අමතර ව මැදි පෙළින් ඉනිම හා එක් වූ Suleeporn Laomi ලකුණු 17ක් ද සහ Rosenan Kanoh ලකුණු 13ක් ද ලබා ගනිමින් තායිලන්ත ඉනිමේ ලකුණු පුවරුවට දායකත්වය දැක් වූවා.

කඩුලු දවා ගැනීමේ දී Rabeya Khan ට අමතර ව Ritu Moni සහ අද තම මංගල විස්සයි විස්ස තරගයට සහභාගී වූ Sabikun Nahar Jesmin ද සමඟින් කඩුලු 2ක් බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකාරිනී Murshida Khatun. ඇය පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා.

ඊට අමතර ව අනෙක් ආරම්භක පිතිකාරිනී Dilara Akte පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක ද සහ Ishma Tanjim පන්දු 22කට මුහුණ දෙමින් ලකුණු 16ක් ද ලබා ගත්තා.

ඉනිමේ 2 වැනි කඩුල්ල සඳහා පන්දු 58ක දී ලකුණු 60ක සබඳතාවක් එක් කිරීමට Dilara Akter සහ Murshida Khatun සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී Phannita Maya සහ Thipatcha Putthawong කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 96 (20.0) Nattaya Boochatham 40, Suleeporn Laomi 17, Sabikun Nahar Jesmin 2/28, Rabeya Khan 4/14, Ritu Moni 2/10

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 100 (17.3) Dilara Akter 17, Murshida Khatun 50, Phannita Maya 1/08

බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Rabeya Khan (බංග්ලාදේශය)

මෙම තරගයේ ජයග්‍රහණය බංග්ලාදේශය සතු වූව ද ඔවුන් මෙවර තරගාවලියේ B කාණ්ඩයේ තව දුරටත් රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේයි. එහි පළමු ස්ථානයේ ශ්‍රී ලංකාව රැදී සිටින අතර 2 වැනි ස්ථානය මෙම තරගයෙන් පරාජයට පත් තායිලන්තය ද සහ අවසන් ස්ථානයේ මැලේසියාව ද රැදී සිටිනවා.

තරගාවලියේ තවත් තරග ද්විත්වයක් හෙට (23) පැවැත්වීමට නියමිතයි. ඒ අනු ව පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පසුවරුවේ ද සහ ඉන්දියාව සහ නේපාලය අතර තරගය රාත්‍රී තරගයක් ලෙසින් ද පැවැත්වේ.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<