පාකිස්තානය කඩුලු 9කින් නේපාලය පරාජය කරයි

Women’s T20 Asia Cup

4

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් ඊයේ (21) රාත්‍රී ක්‍රියාත්මක වූ පාකිස්තානය සහ නේපාලය අතර තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූවා.  

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නේපාල ක්‍රීඩිකාවන්ගේ ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 108කට සීමා කළ පාකිස්තාන ක්‍රීඩිකාවෝ තමන්ගේ ඉනිමේ පන්දු 49ක් ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී අභියෝගය ජය ගත්තා.  

කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානය විසින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නේපාලය සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ පළමු Power Play අවස්ථාව ලකුණු 30කට සීමා කරන්නේ ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් ම නැවත ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.  

එලෙසින් කඩා වැටෙමින් පැවැති ඔවුන්ගේ ඉනිමේ හොඳම ලකුණු සංඛ්‍යාවක් සහිත කඩුලු සබඳතාව වූයේ Puja Mahato සහ  Kabita Joshi එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 32කදී එක් කළ ලකුණු 34යි.  

Puja Mahato දුවද්දී දැවී යෑමත් සමඟින් එම ලකුණු සබඳතාව බිඳ වැටුණ අතර ඒ වෙද්දී ඇය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.  

නේපාල ඉනිම අවසන් වන විට Kabita Joshi පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටි අතර ආරම්භක පිතිකාරිනී Sita Rana Magar ද පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Sadia Iqbal ලකුණු 19කට කඩුලු 2ක් දවා ගනිද්දී Fatima Sana කඩුල්ලක් දවා ගත්තා. නේපාල ඉනිමේ දැවී ගිය අනෙක් කඩුලු ත්‍රිත්වය ම දුවද්දී දවා ගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූවා.  

පාකිස්තාන පිළිතුරු ඉනිම ආරම්භ කළ Gull Feroza සහ Muneeba Ali එක් ව පළමු කඩුල්ල සඳහා පහසුවෙන් ම ශතක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා. ඔවුන් දෙදෙනාට ඒ සඳහා වැය වන්නේ පන්දු 36ක් පමණයි. 

ඒ අතර තුර දකුණත් පිතිකාරිනී Gull Feroza පන්දු 30ක් පමණක් වැය කරමින් තම මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූවා. ඇය පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියා. 

ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 4ක් මෙපිටින් සිටිය දී ඇයගේ දැවී යෑම සිදු වෙන විට ඔවුන් දෙදෙනා විසින් පන්දු 68ක දී ලකුණු 105ක් තම ඉනිමට එක් කර තිබුණා. ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ තෙවැනි පන්දුවේ දී  Muneeba Ali විසින් එල්ල කරන ලද හතරේ පහරක් සමඟින් තරගයේ ජයග්‍රහණය පාකිස්තානය සතු වුනා.  

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Muneeba Ali පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමන් නොදැවී ලකුණු 46ක් ලබා සිටියා.  

පාකිස්තාන ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Kabita Joshi සතු වූවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 108 (20.0) Sita Rana Magar 26, Puja Mahato 25, Kabita Joshi නොදැවී 31, Sadia Iqbal 2/19 

 

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 110 (11.5) Gull Feroza 57, Muneeba Ali නොදැවී 46, Kabita Joshi 1/19 

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.  

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Gull Feroza (පාකිස්තානය) 

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් පාකිස්තාන කණ්ඩායම A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයට පත් වීමට සමත් වූවා. ඔවුන් පෙර තරගයෙන් ඉන්දීයාව හමුවේ පරාජය වූ අතර මේ වෙද්දී එම ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයේ රැදී සිටින්නේ මෙතෙක් සහභාගී වූ තරග ද්විත්වය ම ජයග්‍රහණය කළ ඉන්දියාවයි.  

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<